SRILANKAN NEWS

මහින්ද පැරදුණේ බොදු බල සේනාව නිසයි – ඩිලාන් පෙරේරා

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය වුණේ බොදුබල සේනාවේ ලණු කාපු නිසා. බවත්, හිටපු ජනාධිපතිවරයා සිදුකර ගත් වරද වර්තමාන ජනාධිපතිවරයාද සිදුනොකර ගන්නා ලෙස තමන් පවසන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (18දා) හාලිඇල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

”  මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය වුණේ බොදුබල සේනා හාමුදුරුවන්ගේ ලණු කාලා. අද උසාවියෙන් සිතාසි නිකුත් කර තිබියදීත් උන්වහන්සේ උසාවියට එන්නේ නෑ. වර්තමාන ජනාධිපතතුමාටත් මම කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා කරගත්ත වරද කරගන්න එපා කියන එකයි.

මේ රටේ ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය කවුරු ඇවිස්සුවත් වැරදියි. සිවාජිලිංගම්ලා, විග්නේෂ්වරන්ලාත් උසාවි ගේන්න  ඕන. නැගෙනහිර පළාතේ ඉන්න සමහර මුස්ලිම් පූජකවරුන් ඉතාම කාලකණ්ණි විදිහට ජාතිවාදය අවුස්සන බව සමාජ වෙබ් අඩවිවලින්  අපි දකිනවා. ඒ අයත් උසාවි ගේන්න ඕනෑ. හැබැයි ඒ අය උසාවි  ගේන්න කියලා, අද උසාවි එන්න කියා වරෙන්තු නිකුත් කර තිබෙන හාමුදුරුවන්ට උසාවි නෑවිත් ඉන්න බෑ.

ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය පතුරුවන අය කවුරු වුණත් ඒ අය ඇඳන් ඉන්නේ සිවුරක්ද, ලෝගුවක්ද, වේට්ටියක්ද, තොප්පියක්ද, ඩප්පියක්ද කියන කාරණය අදාළ නෑ. ඒ සියලු දෙනාට විරුද්ධව අපේ ජාතික සමගියට බාධා කරන්නන් හැටියට නීත්‍යානුකූලව කටයුතු කළ යුතුයි, යැයි පැවසීය.