SRILANKAN NEWS

ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවක් අවශ්‍යයි – ජනපති

ගුරු හිඟය පියවීම සඳහා ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිමේ සහ ගුරු මාරුවලදී ස්වාධීන ක‍්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සමඟ ඊයේ  (19) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

පසුගියදා පැවති 33 වන ප‍්‍රධාන අමාත්‍ය සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමේ අරමුණින් සියලු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු මෙන්ම මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් මෙම හමුව සිදු විය.

පළාත් වශයෙන් පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු විමසීය.

නියමිත පරිදි සෑම වසරකම අයදුම්පත් කැඳවා අදාළ විභාග පවත්වමින් පරිපාලන සේවයට නවකයින් බඳවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය. එමෙන්ම පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු ඇතුළු අනෙකුත් අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.