SRILANKAN NEWS

කොළඹ ප්‍රාදේශිය ලේකම් කොඨාස 14ක් ඩෙංගු අධි අවධානම් කලාපයන් ලෙස ප්‍රකාශ කරයි..

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම අධිඅවධානම් කළාප ලෙස හඳුනාගෙන ඇත.

එම නිසා මේ මොහොතේ ඩෙංගු උවදුර ජාතික අවශ්‍යතාවයක් සේ සළකා මහජනතාව කටයුතු කළ යුතු බව ඩෙංගු මදුරු මර්දන  ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු උවදුරින් බේරීමට සැවොම එක්විය යුතු බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඊයේ (24) දින සිට ආරම්භ වූ අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ පොලීසියේ සාමාජිකයින් 1000 ක අමතර පිරිසක් මේ සඳහා යොමු කර ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

එම ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුළ මෙම වැඩසටහන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන මගින් සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම, සෙනසුරාදා දිනයන් හීදි නිවාස ආශ්‍රීත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

 විවිධ පාරිසරික සාධක මත සෑම දිස්ත්‍රික්කයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා වන බැවින් හැකි සෑම අවස්ථාවක දීම මදුරුන් බෝවීමට හැකි ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.