WORLD NEWS

මිනිස් ජාවාරම් ලැයිස්තුවේ නරකම රටක් චීනය

මිනිස් ජාවාරමමිනිස් ජාවාරම සිදු කෙරෙන රටවල් අතරින් චීනය නරකම රටක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ, චීනයේ ‘ෂින්ශියෑන්’ ප්‍රාන්තයේ සුළුතර ‘උයිගර්’ මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයන් පැහැරගෙන විත් බලහත්කාරයෙන් කම්කරු වෘත්තියේ යොදා ගන්නා බවය.

එමෙන්ම උතුරු කොරියාවෙන් රැගෙන එන මිනිසුන් බලහත්කාරයෙන් චීනය තුළ කම්කරු වෘත්තියේ යොදවා ඇති බවත් කිසිදු ගෙවීමක් නොලබන ඔවුන් දිනකට පැය විස්සක් වැඩ කරන බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මාධ්‍ය හමුවක දී පැවසීය.

“පැය විස්සක් වැඩ”

“උතුරු කොරියානුවන් පනස් දහසත් අසූ දහසත් අතර ප්‍රමාණයක් වෙනත් රටවල බලහත්කාරයෙන් කම්කරු සේවයේ යොදවා තිබෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. දිනකට පැය විස්සක් ඔවුන් වැඩ කරනවා, විශේෂයෙන් ම රුසියාවේ සහ චීනයේ. ඔවුන්ගේ වැටුප යන්නෙ උතුරු කොරියානු රජයට. ඉන් වැඩි ප්‍රමාණයක් රජයට ගන්නවා.” රාජ්‍ය ලේකම්වරයා පවසයි.

“මිනිස් ජාවාරමේ ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියානු ආණ්ඩුවට වසරකට ඩොලර් මිලියන ලක්‍ෂ ගණනින් මුදල් ලැබෙනවා. උතුරු කොරියාවෙ මිනිසුන් බලහත්කාරයෙන් කම්කරු සේවයට යොදවා ඇති හැම රටකින්ම අපි දැඩි ඉල්ලීමක් කරනවා ඔවුන්ව ආපසු තම නිවෙස් කරා යවන ලෙසට.” ඔහු තවදුරටත් කියා සිටියි.

මිනිස් ජාවාරම බරපතළ මට්ටමින් සිදු කෙරෙන රටවල් ලැයිස්තුවේ උතුරු කොරියාව සහ සුඩානය ද වෙති.

ඇමෙරිකා එක්සත් ජනපදය එම ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත්තේ ලොව පුරා සිදුවෙමින් පවතින මිනිස් ජාවාරමට තිත තැබීම සඳහා සියලු රටවල් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමේ අරමුණෙනි.

බීබීසී සිංහල