SRILANKAN NEWS

ශිෂ්‍යත්ව වැඩසටහනට ජපානයෙන් රු.මිලියන 358 ක්

රාජ්‍ය අංශයේ ශිෂ්‍යත්ව වැඩසටහනට ජපානයෙන් රු.මිලියන 358 ක්රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින්  මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි. ඒ අනුව, මෙම වැඩසටහනෙහි  පළමු කාර්යය රාමුව (2010-2013) සහ දෙවන කාර්යය රාමුව (2014-2017)  යටතේ නිලධාරීන් 120 දෙනෙකු හට (වසරකට 15 දෙනෙකු බැගින්) අධ්‍යයන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
මෙම වැඩසටහනේ දෙවන කාර්යය රාමුව 2017 වසරේ අවසන් වීමට නියමිත අතර දෙවන කාර්යය රාමුවේ සිව්වන කණ්ඩායම තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් අවසන් වී ඇත.  ඒ අනුව තෝරා ගත් නිලධාරීන් 2017 සැප්තැම්බර් මස දී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම නිලධාරීන්හට පහසුකම් සැලසීම සඳහා 2017 වර්ෂය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 208ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 282ක) ආධාරයක්  ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට එකඟ වී ඇත.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ජපාන රජය මෙම වැඩසටහන ඉදිරි වසර හතරක් සඳහා අබණ්ඩව පවත්වාගෙන යාමට එකඟතාවය පළකර ඇත. ඒ අනුව‚ ජපානයේ පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා වසරකට ශිෂ්‍යත්ව 15ක් ලබාදීම වෙනුවෙන්   මෙම වැඩසටහනේ තුන්වන කාර්යය රාමුව 2017-2020 කාලපරිච්ඡේදය සඳහා සකස් කර ඇත. අධ්‍යයන කටයුතු අවසන් කරන ලද ශිෂ්‍යත්වලාභින්ගේ වෘත්තීයමය සංවර්ධනය තවදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව එක් වර්ෂයක් සඳහා ආචාර්ය උපාධි 02ක් පිරිනැමීමට ද ජපාන රජය එකඟ වී ඇත.
තුන්වන කාර්යය රාමුවේ පළමුවන කණ්ඩායමෙහි තෝරා ගැනීමේ ක්‍රියාවලිය 2017 සැප්තැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිතය. මෙම නිලධාරීන්හට පහසුකම් සලසා දීම සඳහා 2018 වර්ෂය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 262 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 358 ක) ආධාරයක්  ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරනු ඇත.
මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා දෙරට අතර  හුවමාරු පත්‍ර 02 ක් අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ප්‍රදාන ගිවිසුම්වලට එළඹීම පසුගිය දා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදු කරන ලදී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග මහතා ද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුම මහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටනකා ෆුසාතෝ මහතා විසින් අදාළ ලියකියවිලිවලට අත්සන් තබන ලදී.