SRILANKAN NEWS

IS තර්ජන මැඩපැවැත්වීමට රජයට සහාය ලබා දෙනවා – උලමා සභාව

IS ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්‍යාලයට පහරදීමට සැලසුම් කර ඇති බවත් රට සහ රටේ ජනතාව IS ත්‍රස්තවාදීන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ඇමරිකානු තානාපති කාර්‍යාලය විසින් රජය වෙත ඉල්ලා ඇති බව වාර්තාවේ.

යම්කිසි කෙනෙකු ත්‍රස්තවාදයට සම්බන්‍ධවී ඇති නම් ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපද රජයෙන් ඉල්ලා සිටින්නෙමු. මෙවැනි සමාජ විරෝධි බලවේගවලින් අප රට බේරා ගැනීම සඳහා රජය ආයතනවලට අපගේ උපරිම සහාය ලබාදීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසා තිබේ.

ජමියතුල් උලමා සභාවේ මහ ලේකම් එම්.එම්.ඒ. මුබාරක් මහතා විසින් නිකුත් කළ පුවත් නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ,
ඉස්ලාම් ආගමට සම්පූර්ණයෙන් පටහැනි IS වැනි ත්‍රස්තවාදී සංවිධාන සමඟ යම්කිසි කෙනෙකු සම්බන්‍ධවී ඇති නම් එය අපි දැඩි ලෙස හෙලා දකින්නෙමු. එවැනි සංවිධාන හා ඉස්ලාම් ආගමේ මූලික සාරධර්මවල කිසිඳු සම්බන්‍ධතාවයක් නොමැති බව ද ඉතා තරයෙන් සඳහන් කරන්නෙමු.

ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදයට සහය පළකරන්නන් නොවේ, රටතුල බිහිවූ ත්‍රස්තවාදී සංවිධානයට ද මුස්ලිම් ප්‍රජාව කිසිවිටක සහය ලබාදී නොමැත. ඉස්ලාම් ආගම මනුෂත්වයට දයාව කරුණාව පෙන්වන ආගමකි. ඒ අනුව ඉස්ලාම් ආගමේ මූලික සාරධර්මය වන්නේ සාමය, සමාදානය, ආරක්‍ෂාව හා සහෝදරත්වය වේ.

අපේ මව් බිමට අනතුරක් හානියක් සිදුවන සහ ශ්‍රී ලාංකිකයන් අතරවූ එකමුතු භාවය කඩාකප්පල් වන ක්‍රියා කටයුතුවලට මෙරට මුස්ලිම් ජනතාව කිසිවිටක සම්බන්‍ධ නොවන බව තරයෙන් ප්‍රකාශ කර සිටින්නෙමු යැයි වැඩිදුරටත් සඳහන් කර තිබේ.