SRILANKAN NEWS

මහා නාහිමිවරුන් සිය ප්‍රකාශය ගැන යළි සළකා බැලිය යුතුයි – දෙ.ජා.ස.

ත්‍රයිනිකායික මහා නාහිමිවරුන් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැතැයි යනුවෙන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවත් එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට මහා නිහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි.

ජනවාරි 08 මෙම යහපාලන ආණ්ඩුව පත් කර ගැනීමට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව විසින් මැදිහත් වී කටයුතු කරනු ලැබුවේ නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් බවත්, නව ව්‍යවස්ථාව තුළින් සියලු දෙනාට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට හැකියාව පවතින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

වසර දෙකකට වැඩි කාලයක් නව ව්‍යවස්ථාවක් පිළිබඳව සාකච්ජා පැවැත්වමින් තිබු බවත්,මෙලෙස නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම අවශ්‍ය නැතැයි ත්‍රයිනිකායික මහා සංඝරත්නය පැවසීම සම්බන්ධයෙන් නැවත සළකා බැලීම උචිත වන බවද මන්ත්‍රී වරයා පවසයි.

මෙම තත්වය නැවත වතාවක් සළකා බලන ලෙසට ඉල්ලීම් කරන බවට දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

සුමන්තිරන් මහතා පැවසූවේ වර්තමානයේදි සියලු ජාතීන් එක්ව සියලු ජාතීන්ට පිළිගත හැකි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට සාකච්ජා කොට අදාළ අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වසර දෙකක කාලයක් අදාළ ක‍්‍රියාවලිය මේ වන විට සිදුකොට හමාර බවයි.