SRILANKAN NEWS

භාෂා අයිතිය උල්ලංඝණයවීම ගැන පැමිණිල්ලක් කිරීමට ගිය තරුණයා – පොලිසිය පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරයි..

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) භාෂා අයිතිය උල්ලංඝණයවීමක් ගැන වූ පැමිණිල්ලක් භාර ගැනීමට නොහැකි බව පවසා කෝප්පායි පොලිසිය විසින් තරුණයෙකු ඉදිරිපත් කළ පැමිණිල්ලක් ප්‍රතික්‍ෂේප කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,

ඊයේ (14) පෙරවරුවේ තිරුනෙල්වේලි හංදියේදී රාජකාරියේ සිටි කෝප්පායි පොලිසියේ රථ වාහන අංශ නිළධාරිවරයා මාර්ගයේ ගමන් කළ තරුණයෙකුව නවතා ඔහුගේ රියදුරු බලපත්‍රය ලබාගෙන සිංහල භාෂාවෙන් බැණ වැදී තිබේ.

එම තරුණයා තමන්ට සිංහල නොදන්නා බවත්, ඔබතුමා පවසන දැය වටහා ගැනීමට නොහැකි බවත් එම පොලිස් නිළධාරිවරයා වෙත දෙමළින් පවසා තිබේ. අනතුරුව තවඳුරටත් සිංහලෙන් කථා කළ එම නිළධාරිවරයා රියදුරු බලපත්‍රය තම සතුව තබාගෙන ඒ වෙනුවෙන් පොලිසිය විසින් ලබා දෙන බලපත්‍රෙයහි සිංහල භාෂාවෙන් ලියා දී තිබේ. එහි කුමක් සඳහන් කර තිබෙන්නේ දැයි තමන් නොදන්නා බව එම තරුණයා පවසා තිබේ. එවිට පොලිස් නිළධාරිවරයා ‘උසාවි උසාවි‘ ‘කෝට්ස් කෝට්ස්‘ යැයි පවසමින් එහි සඳහන් කළ දිනය ද පෙන්වාදී තිබේ.

අනතුරුව එම තරුණයා කෝප්පායි පොලිස් ස්ථානයට ගොස් එම පත්‍රිකාවේ සඳහන් කර ඇති දැය තමන්ට කියවා ගැනීමට නොහැකි බවත්, ඒ ගැන තම භාෂා අයිතිය උල්ලංඝණයවී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද පවසා තිබේ.

එහිදී පැමිණිලි භාර ගන්නා කටයුතුවල නිරතව සිටි පොලිස් නිළධාරිවරයා ඉකුත් තරුණයාට සිංහල භාෂාවෙන් පත්‍රිකාව ලියා දුන් පොලිස් නිළධාරිවරයා කැඳවා මේ සම්බන්‍ධයෙන් පවසා තිබේ.

එයට එම නිළධාරිවරයා, තරුණයා හංදියේ තිබූ මාර්ග සංඥාව නොතකා ගමන් කිරීම වැරදක් බවත්, එය ගැන ලියා ඇති බැවින් මේ ගැන අධිකරණයේදී කතා කරගන්නා ලෙස සිංහලෙන් පවසා තිබේ. එය දෙමළ පොලිස් නිළධාරිවරයා විසින් පරිවර්ථනය කර එම තරුණයාට පවසා තිබේ. එවිට තමන් එවැනි වැරද්දක් සිදු නොකළ බවත්, තමන් කොළ පාට සංඥාව වැටුන පසු තමයි මාර්ගය හරහා ගමන් කළ බව පවසා තිබේ. එයට පොලිස් නිළධාරිවරයා කුමක් වුනත් එය අධිකරණයේදී කියා ගන්නයි පවසා තිබේ.

එයට එකඟ වූ තරුණයා තම භාෂා අයිතිය උල්ලංඝණයවීම ගැන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බැරිදැයි විමාසා තිබේ. එයට කෝප්පායි පොලිසිය තම පොලිස් ස්ථානයේ කටයුතු කරන පොලිස් නිළධාරිවරයෙකුට එරෙහිව තම පොලිසියේදීම පැමිණිළි කළ නොහැකි බවත්, එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා නම් මානව හිමිකම් කොමිසමේ හෝ යාපනය භාර ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂවරයා වෙත පැමිණිලි කරන්නැයි පවසා තිබේ.