SRILANKAN NEWS

ලංකාව ඉදිරි වසර තුන ඇතුළත කෝටි හාර ලක්‍ෂ විසි දහසක ණයක් ගෙවීමට සිදුව තිබෙනවා – අගමැති

ලබන වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්‍ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙන බවත් ඒ ණය ගෙවා දැමීමට නම් අපට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (17) දින පන්නිපිටිය, වීර මාවතේ ‘වියත් පුර’ නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා වැඩ ඇරැඹිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්ය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

‘වියත් පුරය’ යනු යහපාලන රජයේ නිවාස යෝජනා ක්‍රමය, නාගරික යෝජනා ක්‍රමය මෙන්ම ආර්ථික වැඩසටහන යන අංශ තුනටම අයත් වූ ව්‍යාපෘතියක් බව කිව යුතුයි. ලබන වසර තුන ඇතුළත දී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි හාර ලක්‍ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙනවා. ඒ ණය ගෙවා දැමීමට නම් අපට ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් අවශ්‍යයි. එමෙන්ම අපගේ අපනයනය වැඩි කිරීමට තිබෙනවා. රටේ ආදායම වර්ධනය කළ යුතුව තිබෙනවා. බදු ආදායම වැඩි කළ යුතුව තිබෙනවා.

2020 වසර වන විට මූලික ණය ගෙවීමේ පදනම ඇති කර ඊළඟ වසර 5 ඇතුළත මේ ණය බර ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමට හැකියි. ඉතා තරගකාරී වෙළෙඳ ආර්ථිකයක් ඇති කළ විට ඉන් ලැබෙන වාසිය ස්වල්ප දෙනෙකුට පමණක් සීමා කරන්නට බැහැ. එහි ප්‍රතිලාභ බෙදී යන්නේ කර්මාන්ත, ව්‍යාපාර හිමි කිහිප දෙනෙකු අතර පමණක් නොවේ. අපට වෙළෙඳ ආර්ථිකය සහ සමාජ සාධාරණත්වය යන අංශ දෙකම අවශ්‍යයි. පසුගිය සතියේ දී වෙළෙඳ කලාපීය වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා. නිෂ්පාදනවලට ලැබෙන ලාභය වැඩි වූ විට එහි වාසිය ලාභයේ කොටස්කරුවන් වන සේවකයන් සඳහා ලබාදෙන්නේ කෙසේදැයි සාකච්ඡා කළා. රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ද එම ක්‍රියාමාර්ග ගත යුතුයි.

ජනතාවට සහන ලබාදීම සඳහා තවත් ප්‍රධාන කාරණා දෙකක් තිබෙනවා. පළමු වැන්න නම් අධ්‍යාපනයයි. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කොට පාසල් ක්‍රමය දියුණු කිරීමට අප කටයුතු කරනවා. “හොඳ පාසල් නැහැ, ජාතික පාසල් අවශ්‍යයි” යන චෝදනාව එවිට නගන්නට හැකි වන්නේ නැහැ.

පළාත් සභා සමග සාකච්ඡා කොට පළාත් සභා පාසල් ගණනාවක්, ඒ සහ බී ශ්‍රේණියේ මධ්‍ය මහා විද්‍යාල බවට පත් කිරීමටත්, එම තත්ත්වය ආරක්‍ෂා කිරීමටත් ක්‍රියා කරන බව අධ්‍යාපන ඇමැතිතුමා මා සමග පැවසුවා. තම දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීම සියලූම දෙනාගේ අපේක්‍ෂාවයි.

ඇතැම් සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා යොමූ වීමට දක්‍ෂකමක් නැහැ. ඒ නිසා බොහෝ පිරිසක් පාසල් අතහැර යනවා. අපේ උත්සාහය වන්නේ එලෙස පාසල් හැර යන අයත්, පාසලේ තබා ගෙන එම පිරිසට වෘත්තීය දැනුම ලබාදීමයි. එවැනි දැනුමක් ඇති වෘත්තීයවේදීන්ටත් මේ යුගයේ දී හොදින් මුදල් ඉපැයීමට අවස්ථාව තිබෙනවා. එවැනි අයෙකු විදේශගත වුවහොත් සාමාන්‍ය උපාධියක් ඇති අයෙකුට වඩා හොඳ ආදායමක් ලබාගත හැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

සෞඛ්‍ය සේවය දියුණු කිරීම සඳහා යහපාලන රජය තවත් වෛද්‍ය පීඨ ගණනාවක් මොරටුව, සබරගමුව, වයඹ ආරම්භ කරනවා. අපට අවශ්‍ය වෛද්‍යවේදීන් ඒ අනුව බිහි කළ හැකියි. මීට අමතරව ඇති විශාලතම ප්‍රශ්නය වන්නේ නිවාස ප්‍රශ්නයයි. ග්‍රාමීය මධ්‍යම පාන්තික ජනතාවට, උතුරේ නිවාස අහිමිවූ ජනතාවට, බිම් අගලක හෝ හිමිකාරිත්වයක් නොමැති කඳුකරයේ කම්කරු ජනතාවට, කොළඹ පැල්පත් ජනතාවට සහ මධ්‍යම පාන්තිකයන්ට නිවාස ලබාදීම සදහා අප විශාල වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම නාගරීකරණයේ ප්‍රධාන වැඩසටහනක් ලෙස තට්ටු නිවාස ව්‍යාපෘතියක් ද ඉදිකිරීමට ද යටිතල පහසුකම් දියුණු කිරීමට ද අදාල කටයුතු සැලසුම් කර තිබෙනවා.

අප කුඩා කාලයේ ලංකාවේ ප්‍රධාන නගරය ලෙස පැවතියේ කොළඹ නගරය පමණයි. ඒ කාලයේ මහරගම ආදී නගර කොළඹින් බොහෝ දුර බැහැර නගර ලෙසයි සැලකුණේ. නමුත් අද වනවිට හෝමාගම, මහරගම දක්වාත් අනෙක් පසින් ගම්පහ සිට කුරුණෑගල දක්වාත් නාගරීකරණය වී තිබෙනවා. තවත් වසර 10ක් පමණ ගතවන විට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත ආදි ප්‍රදේශ එක් පසෙකුනුත් අනෙක් පසින් ගාල්ල, මාතර දක්වාත් විශාල නාගරීකරණයකට මේ රට ලක්වෙනවා. එම නාගරිකරණය තුල ජීවත්වීමට තට්ටු නිවාස ක්‍රමය අවශ්‍යයි. නිවාස සම්බන්ධව විශාල ගැටළුවක් තිබෙන්නේ අපේ රටේ වෘත්තීය වේදීන්ටයි. මුදල් නොමැතිවීම නිවාස සදහා ණය ලබාගැනීමට සිදුවීම ආදී ගැටළු ඔවුන්ට බලපානවා. ඒ සදහා විසදුමක් ලෙස විදෙස්ගත වී මුදල් සෙවීමට ඇතමුන් කල්පනා කරනවා.

ඉන් සිදුවන්නේ රටේ ජනතාවගේ සේවය රටට අහිමි වීමයි. එම ගැටළු සදහා පිළියම් ලබාදෙමින් ලාංකික වෘත්තීයවේදීන්ගේ සේවය ශ්‍රී ලංකාවටම ලබා ගැනීම සදහා අප මෙම වැඩකටයුතු ආරම්භ කර තිබෙනා. රටේ මධ්‍යම පන්තික උගතුන්ට, වෘත්තීයවේදීන්ට මෙලෙස නිවාස ලබාදීම සිදුවන්නේ පාඨලි චම්පික අමාත්‍යතුමාගේ යෝජනාවක් අනුවයි. එය රටට අවශ්‍යයි.

ශ්‍රී ලංකාව වැනි රටක් දියුණුවීමට නම් මධ්‍යම පාන්තිකයන් අත්‍යවශ්‍යයි. තමන් නීතිඥයෙක්, වෛද්‍යවරයෙක්, දක්ෂතා සහිත කාර්මිකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් වුවත් මධ්‍යම පන්තියට ඇතුලත්වීමේ හැකියාව ඒ සියලූ දෙනාට තිබිය යුතුයි. මේ වැඩසටහන යටතේ විශාල නිවාස සංඛ්‍යාවක් ඉදිකිරීමට තිබෙනවා. බස්නාහිර පළාතේ නාගරීකරණය දියුණු කිරීම සදහා නිවාස පමණක් නොව යටිතල පහසුකම් විදුලිය, ජල පහසුකම් ද දියුණු කළ යුතු වෙනවා. වාහන තදබදයත් විසදිය යුතු එක් ගැටළුවක්. පාඨලි චම්පික ඇමතිතුමා මෙම අභියෝග භාර ගනිමින් ඒ සදහා වැඩකටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සදහා එතුමාට තවත් මුදල් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

2015දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ මෙවැනි විශාල වැඩකොටසක් සිදුකිරීමට අවශ්‍ය බව තේරුම් ගත් නිසයි. පැරණි දේශපාලන සම්ප්‍රදායට අනුව අපේ පක්ෂයෙන් පමණක් තනිව ආණ්ඩුවක් ගෙන යනවා යැයි පැවසීමට හැකියාව අපට තිබුණා. නමුත් මෙම ගැටළුවලට විසදුම් ලබාදෙමින් එක්ව වැඩ කිරීමට අප තීරණය කළා. පසුව ඡන්දයකට මුහුණ දෙන විට ජනතාව මෙම පක්ෂ දෙකේම ගුණ වර්ණනා කරයි. එවිට ජනතාව පක්ෂ දෙකේම අපේක්ෂකයන් අතුරෙන් රටට වැඩදායි අපේක්ෂකයන් තෝරා ගනිවි. මෙම ක්‍රමය අප ගෙනාවේ ලෝකය දෙසට අවධානය යොමු කරමින්.

මේ වනවිට අපට ජාත්‍යන්තර ආධාර සහයෝගය ලැබෙමින් පවතිනවා. ගෙවා ගැනීමට නොහැකිව තිබූ ණය බර අද අප පාලනය කර තිබෙනවා. මේ සියලූ වැඩකටයුතු අප සිදුකරන්නේ ජාතික ආණ්ඩුවක් ලෙස සියලූ දෙනාගේම එකතුවෙන්. එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ වාසියක් ලබාදීමට අප මෙම වැඩකටයුතු කරන්නේ නැහැ. පක්ෂ දෙකක් එකට වැඩකිරීම යනු ඉතා අසීරු කාර්යයක්. මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජාතික ආණ්ඩුවක් රැගෙන යනවා වාගේ යයි මා පැවසුවේත් එම නිසයි. ජාතික ආණ්ඩුවක් රැගෙන යන විට යම්තමින් හෝ අවධානය ගිලිහුණොත් වරදින්නේ කෙසේදැයි සිතා ගැනීමටත් නොහැකි වෙනවා. පෛාඩ්ඩක් බැරි වුනොත් කොහේ ගිහින් වදියි ද දන්නෑෙ රටට වාසියක් වන නිසා කෙසේ හෝ මෙය ඉදිරියට ගෙන යාමට අප තීරණය කළා.

සමාජ සාධාරණත්වය සහිත වෙළෙඳ ආර්ථිකයක් බිහිකිරීමේ හැකියාව අපට තිබෙනවා. ඒ සදහා වන මෙම වැඩපිළිවෙලේ සමාරම්භක අවස්ථාවට මට ආරාධනා කළ පාඨලි චම්පික ඇමතිතුමාට මා සුභ ප්‍රාර්ථනා කරනවා.