SRILANKAN NEWS

දූෂණ මර්දන කාර්යාලය වැසීම ගැන විවාදයක් අවශ්‍යයි – අනුර කුමාර

දූෂණ මර්දන කමිටු ‍ලේකම් කාර්යාලය ආණ්ඩුව විසින් වසා දැමීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ වැදගත් සාකච්ඡාවක් ඇති. විය යුතු බැවින්, මේ තත්ත්වය සම්බන්ධයෙන් එක් දින විවාදයක් ලබාදෙන ලෙසට සිය පක්ෂය කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ අනුව ජූලි මස දෙවන පාර්ලිමේන්තු සතිය තුළදී මේ පිළිබඳ එක්දින විවාදයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමින්, කථානායකවරයාට ලිඛිත ඉල්ලීමක් කිරීමටද එම පක්ෂය පියවර ගෙන තිබේ.

පසුගිය පාලනය පෙරළා දමමින් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදි ජනතාව හමුවේ තබන ලද ප්‍රධානතම ‍පොරොන්දුවලින් එකක් වූයේ වංචාවලට සහ දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වීමට තමන් සූදානම් බව යැයි ද එසේ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වූ දින සියය යෝජනාවලටද පසුගිය කාලයේ සිදුව ඇති මහ පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විනිශ්චය සභා පත්කරන බවට ‍පොරොන්දුවක් ඇතුළත්ව තිබුණේද මේ තත්ත්වය තුළ යැයි කථානායකවරයා වෙත යවා ඇති එම ලිපියේ අවධාරණය කර ඇත.

එහි අවම පියවරක් ලෙස 2015 පෙබරවාරි 19 දින ආරම්භ කරන ලද, දූෂණ මර්දන කමිටු ‍ලේකම් කාර්යාලය ආණ්ඩුව විසින් 2017 ජුනි 30 දින සිට වසා දමා ඇත. මෙය රටේ දූෂණයට එරෙහි සටන හිතාමතා අඩපණ කරදැමීමේ පියවරක් බව ජනතාවගේ අදහස් යැයිද ඒ මහතා පවසයි.

මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ වැදගත් සාකච්ඡාවක් ඇතිවිය යුතු යැයි සිය පක්ෂය විශ්වාස කරන අතර ඒ අනුව ජූලි මස දෙවන පාර්ලිමේන්තු සතිය තුළදී අදාළ එක් දින විවාදයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.