SRILANKAN NEWS

ඩෙංගු රෝගය සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාදෙන ලෙස අගමැතිගෙන් උපදෙස්

ඩෙංගු රෝගය සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික රෝහල්වලට සහ රසායනාගාරවලට උපදෙස් ලබාදී ඇත.

ඊයේ(19) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

ඩෙංගු රෝගය සඳහා සිදුකරන රුධිර පරීක්ෂණ වාර්තා ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බව වාර්තාවේ.

වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන පැය දෙකක පමණ කාලයක් තුළ අදාළ රුධිර පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා පුද්ගලික රෝහල්වලට සහ රසානයාගාරවලට මෙහිදී උපදෙස් ලබාදී ඇත.

මේ අතර ධීවර වරාය පරිශ්‍රවල ඩෙංගු මර්ධන වැඩපිළිවෙල අද(20) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ධීවර වරාය සංවර්ධන නීතීගත සංස්ථාව මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරනු ලැබේ.

දිවයිනේ ධීවර වරාය පරිශ්‍ර 20ක මෙම වැඩපිළිවෙල අද දිනයේ ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.