SRILANKAN NEWS

ප්‍රකාශයක් ලබා ගැනීමට සි.අයි.ඩි. ය විසින් කළ කැඳවීම සිවාජිලිංගම් ප්‍රතික්‍ෂේප කරයි..

ප්‍රශ්ණ කිරීමක් සඳහා තමන්ට කොලඹට පැමිණෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුව කැඳවූ බවත්, තමන්ට කොළඹට පැමිණීමට නොහැකි බව පවසා එය ප්‍රතික්‍ෂෙප කළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි.

පසුගිය මැයි 8 වනදා යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ සිවාජිලිංගම්, මැයි 18 වනදා මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුතු සිදුකරන හෙයින් එදින මුල්ලතිව් දිස්ත්‍රික්ක සම්බන්‍ධිකරන රැස්වීම නොපැවැත්විය යුතු යැයි සඳහන් කර තිබුණි. තවද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුල්ලතිව්වලට නොපැමිණිය යුතු බවත්, එලෙස පැමිණියේ නම් කලු කොඩි විරෝධතාවක් පවත්වන බවද සිවාජිලිංගම් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

එම මාධ්‍ය හමුව සම්බන්‍ධයෙන් ප්‍රකාශයක් ලබාගත යුතු හෙයින් කොළඹට පැමිණෙන ලෙසත්, තවද බෞද්ධ හිමිවරයෙකු සම්බන්‍ධයෙන් අපහාසාත්මක අයුරින් අදහස් ප්‍රකාශ කිරීම ගැන ද ප්‍රකාශයක් ලබාගත යුතු යැයි සිවාජිලිංගම්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුව කැඳවා තිබේ.

එය ප්‍රතික්‍ෂේප කළ සිවාජිලිංගම් තමන්ට කොළඹට පැමිණිය නොහැකි බවත්, අවශ්‍ය නම් වැල්වෙටිතුරයි පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශය සටහන් කරගන්නා ලෙසත්, නැතිනම් යාපනය පොලිස් ස්ථානයට පැමිණ ද තමන්ට ප්‍රකාශය ලබාදිය හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුවට තමන් දැනුම් දුන් බව සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා තිබේ.