SRILANKAN NEWS

විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුව මුදාහැරීම ගැන විජයකලාට එරෙහිව චෝදනාවක්!

පුන්කුඩුතිව් විද්‍යා සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය.

ඉකුත් ඝාතන සිද්ධියට සම්බන්‍ධ ප්‍රධාන සැකකරු සුවිස් කුමාර්ව සිද්ධිය සිඳුවූ දින ප්‍රදේශවාසීන් විසින් අල්ලා විදුලි කණුවක බැඳ දැමූ බවත්, ඔහුව පොලීසියට භාර නොදී මුදාහැරීම සම්බන්ධයෙන් විජයකලාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මෙම චෝදනාව සම්බන්‍ධයෙන් විජයකලාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශන ආරම්භ කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ නීතිඥයින් අධිකරණය හමුවේ මේ බව හෙළිකර තිබේ. විජයකලා මහේෂ්වරන් එම අවස්ථාවට පැමිණ සැකකරු මුදවාගෙන යෑම පිළිබඳ සිදුවීමට අදාළ වීඩියෝ පටයක්ද නීතිඥයින් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ගම්වාසීන් විසින් විදුලි කණුවක බඳිනු ලැබ සිටි ස්විස් කුමාර් බේරාගෙන මුදා හැරීම ගැන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඇති චෝදනා ගැන විමර්ශනය කරන ලෙසත්, ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු පීඨාධිපති තමිල් මාරන් මහතා සැකකරු ගැන තොරතුරු දැන ගත් ආකාරය ගැන ද විමර්ශනය කරන ලෙස නියෝග කළේය.