SRILANKAN NEWS

කේප්පාපිලවු ඉඩම්වලින් ඉවත්වීමට හමුදාව එකඟවීම, සත්‍යග්‍රහය කළ ජනතාව ලැබූ ජයග්‍රහණයකි – ඩක්ලස්

කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්වල රැඳී සිටින හමුදාව එයින් ඉවත්වීමට එකඟත්වය පළ කර තිබීම, තම ඉඩම් වෙනුවෙන් සත්‍යග්‍රහයේ නිරතවූ ජනතාවට ලැබුණු ජයග්‍රහණයක් බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

පසුගිය 26 දින නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කේප්පාපිලවු ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳ රැස්වීමේදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.

කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම්වලින් අදියර තුනකින් ඉවත්වී යෑමට හමුදාව එකඟත්වය පළ කර තිබේ. ඒ අනුව, ප්‍රථමයෙන් අක්කර 243ක්ද, දෙවනුව අක්කර 189ක්ද, අනතුරුව අක්කර 111ක්ද නිදහස් කිරීමට හමුදාව එකඟවී තිබේ.

අවසානව නිදහස් කිරීමට එකඟත්වය පළ කර ඇති අක්කර 111ක ඉඩමේ තම ප්‍රධාන හමුදා කඳවුරක් තිබෙන හෙයින් එය ඉවත් කර වෙනත් තැනක කඳවුරක් ඉදිකිරීමට රුපියල් මිලියන 148ක මුදලක් අවශ්‍ය වන බැවින් එම මුදල නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය ලබා දෙන්නේ නම් මාස හයක කාලයක් තුළ ඉකුත් ඉඩම ද නිදහස් කරන බවට හමුදාව පවසා තිබේ.

හමුදාව ඉල්ලා සිටින මුදල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කඩිනමින් එම කටයුතු සිදුකරන බවට අමාත්‍ය ස්වාමිනාදන් මහතා පවසා තිබීම ගැන අප ජනතාව පාර්ශවයෙන් ස්තුතිය පළ කර සිටින බවද ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා සිටියේය.