MUSLIMS SRILANKAN NEWS

අවතැන්වූ මුස්ලිම් ජනතාවට මුල්ලතිව්හි ජීවත්වීමට අයිතියක් ඇත

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) අලුත් පරම්පරාවේ මුස්ලිම් තරුණ තරුණියන්ට මුල්ලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වීමට සම්පූර්ණ අයිතියක් තිබෙන බව යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ විසින් දෙමළ ජාතික සන්ධානය වෙත අවධාරණය කර තිබේ.

මුල්ලතිව් දිස්ත්‍රික්ක මුස්ලිම් ජනතාවගේ නැවත පදිංචිය පිළිබඳ විශේෂ සාකච්ඡා රැස්වීමක් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී මේ බව අවධාරණ කර තිබේ.

නැවත පදිංචි වන මුල්ලතිව් දිස්ත්‍රික්ක මුස්ලිම් ජනතාව සඳහා ඉඩම් වෙන් කිරීම සම්බන්‍ධයෙන් පසුගිය කාලයේ ඇති වූ විරෝධතා සම්බන්‍ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ. 1990 වසරේදී උතුරේ සිට මුස්ලිම් ජනතාව කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් ඉවත්කළ අවස්ථාවේ මුල්ලතිව් දිස්ත්‍රික්කයේ සිට මුස්ලිම් පවුල් 1700ක්ද අවතැන්වුණි. පසුගිය වසර 27කින් පසු ඔවුන් පවුල් 4500කින් පමණ වැඩිවී ඇත.

ඔවුන් සියළු දෙනාම තම පාරම්පරික ප්‍රදේශය වන මුල්ලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වීමට සම්පූර්ණ අයිතිය හිමි ජනතාවය. ඔවුන් අතර පවුල් 3020ක පමණ ජනතාව මේ වන විටත් නැවත පදිංචිවී සිටිති. ඔවුන්ගෙන් ඉඩම් තිබූ පවුල් 1500ක් හැර අනෙකුත් පවුල් 1520කට ඉඩම් ලබාදීමට අවශ්‍යවී තිබේ. ඔවුන් තමන්ට ස්ථීර පදිංචිය සඳහා ඉඩම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව කූලාමුරිප්පු ප්‍රදේශයෙන් එම ජනතාවට ඉඩම් ලබාදීමට රජය තීරණය කළ අතර, එයට දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් විරෝධය පළ කරමින් සිටියි. එපමණක් නොව මෙම නැවත පදිංචිය මුල්කරගෙන ජාතිවාදි අදහස් ප්‍රකාශ කරමින් ද සිටියි. මෙවැනි තත්වයක් දිගටම පවතියේ නම් දෙමළ හා මුස්ලිම් ජනතාව අතරවූ සම්බන්‍ධකම් බිඳවැටීමේ තත්වයක් ඇති විය හැකි බව පෙන්වාදී තිබේ.

යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ කරුණු සාධාරණීය බව පිළිගත් දෙමළ ජාතික සන්ධානය උතුරේ සිට අවතැන්වූ ජනතාවට උතුරේ නැවැත පදිංචිවීමට අයිතියක් තිබෙන බවත්, මේ සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත්වී කටයුතු කරන බවද සහතිකවී තිබේ.