SRILANKAN NEWS

සිවාජිලිංගම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් CID ය ප්‍රකාශ සටහන් කරගනී

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුව විසින් අද (31) දින යාපනයේදී ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී, පසුගිය මැයි 8 වනදා මාධ්‍ය හමුවක් පැවැත්වූ එම්.කේ. සිවාජිලිංගම්, මැයි 18 වනදා මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුතු සිදුකරන බැවින් එදින මුල්ලතිව් දිස්ත්‍රික්ක සම්බන්‍ධිකරණ රැස්වීම නොපැවැත්විය යුතු බවත්, තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුල්ලතිව්හි සංචාරය නොකළ යුතු බවත්, එලෙස පැමිණියේ නම් කලු කොඩි විරෝධතාවයක් පවත්වන බවට පවසා තිබුණි.

ඉකුත් මාධ්‍ය හමුව සම්බන්‍ධයෙන් සහ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිවාජිලිංගම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත කැඳවා තිබූණි. එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ සිවාාජිලිංගම්, තමන්ට කොළඹට පැමිණිය නොහැකි බවත්, අවශ්‍ය නම් වැල්වෙටිතුරයි හෝ යාපනය පොලිස් ස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබාදිය හැකි බවට තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුවට දැනුම් දුන් බව ඔහු පවසා තිබුණි.

මෙවැනි තත්වයකදී අද(31) දිනයේ කොළඹ සිට යාපනයට පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුවේ නිලධාරින් යාපනය පොලිස් ස්ථානයට සිවාජිලිංගම්ව කැඳවා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. තවද ඉකුත් මාධ්‍ය හමුවට සිවාජිලිංගම් සමඟ සහභාගිවූ සෙසු පළාත් සභා මන්ත්‍රීවරුන් වන පසුපදිපිල්ලේ, තියාගරාජා යන පිරිසගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.