WORLD NEWS

කොරියානු රාජ්‍යයන් දෙක අතර සාකච්ඡා?

තම රට මෙම සති අන්තයේ උතුරු කොරියාවත් සමඟ ඍජු සාකච්ඡා ආරම්භ කිරීමට ඉඩකඩ ඇතිබව දකුණු කොරියාව පවසයි.

දකුණු කොරියාවේ විදේශ ඇමතිනී කැන් ක්යුඞ් වා ( Kyung-wha) ඒ පිළිබඳව අදහස් දක්වමින්, අවස්ථාවක් ලදොත් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමා මනාප බව කියා සිටියාය.

ප්යොංයැං පාලනය විසින් දිගින් දිගටම මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරනු ලැබීම කලාපයේ අසල්වැසි සෙසු රටවල් විසින් හෙලා දකිනු ලැබ ඇත.

ප්යොංයැං හුදෙකලා පාලනයේ එම හැසිරීමට එරෙහිව තවත් සම්බාධක පැනවීමේ යෝජනාවක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ඡන්ද විමසීමක්පැ වැත්වීමට නියමිතයි.

මේ අතර ගිනිකොන ආසියානු කලාපයේ සහයෝගිතා සංවිධානයට(ආසියාන්) අයත් රටවල විදේශ ඇමතිවරු පිලිපීනයේ මැනිලා අගනුවර මුණ ගැසෙමින් සිටිති.

එම සමුළුවට සහභාගී වෙමින් සිටින අතරවාරයේ සිය විදේශ ඇමතිනී කැන් ක්යුඞ් වා ( Kyung-wha) උතුරු කොරියානු විදේශ ඇමතිවරයා මුණ ගැසෙනු ඇතැයි දකුණු කොරියාවේ ‘යොන්හැප්’ (Yonhap news agency) මාධ්‍ය ආයතනය පවසයි.

“අවස්ථාවක් ලදහොත් අපි සාකච්ඡා කිරීමට ඉඩකඩ තියෙනවා” දකුණු කොරියානු විදේශ ඇමතිවරිය පවාන්නීය.

“කුපිතකාරී ක්‍රියාවලින් වළකින ලෙස ඉල්ලා සිටීමේ අපේ අභිලාෂය උතුරු කොරියාවට ඉදිරිපත් කරන්න මම කැමතියි. එසේම සාමකාමී පාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින් සාකච්ඡා සඳහා අවතීර්ණ වෙන මෙන් මෑතදී අප කළ යෝජනාව සම්බන්ධයෙන් ශුභවාදී ප්‍රතිචාරයක් දැක්වීමට අපට අවශ්‍යයි” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

‘ආසියාන්’ සංවිධානයේ මැනිලා විදේශ ඇමති සමුළුවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් සහභාගී වෙන අතර එම සාකච්ඡාවන්හිදී උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය ප්‍රධාන මාතෘකාව බවට පත්වනු ඇතැයි සැලකෙයි.

මැනිලා සාකච්ඡා ආරම්භයේ දීම නිවේදනයක් නිකුත් කරන ‘ආසියාන්’ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ,උතුරු කොරියාවේ හැසිරීම සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ල පළ කරමින්, එම හැසිරීම සාමයට විශාල අනතුරක් වන බව පෙන්වා දී ඇත.

ගත වූ ජූලි මාසයේ පමණක් උතුරු කොරියාව ජාත්‍යන්තර මට්ටමින් ප්‍රහාර එල්ල කළ හැකි බැලිස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් අත්හදා බලා ඇත. තමන්ට සමස්ත ඇමෙරිකාවට පහර දිය හැකි යයි ප්යොංයැං පාලකයන් කියා සිටියත් ඔවුන්ගේ ශක්‍යතාව සම්බන්ධයෙන් විශේෂඥයෝ සැක පළ කරති.

කෙසේ වුවද, එම න්‍යෂ්ටික ප්‍රහාර ඇමෙරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව, ජපානය ඇතුළු රටවල් විසින් හෙළා දකින ලද අතර උතුරු කොරියාවට එරෙහිව තවත් එක්සත් ජාතීන්ගේ සම්බාධක පනවන මෙන් යෝජනා ඉදිරිපත් විය. උතුරු කොරියාවේ ජාත්‍යන්තර මිතුරා වන චීනය විසින් ද එම න්‍යෂ්ටික ප්‍රහාර හෙළා දකිනු ලැබුණි.

එහෙත් චීනය සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ආරක්ෂක මණ්ඩලය තුළ උතුරු කොරියාවට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගනු ලැබීමට බාධා කරමින් ප්යොංයැං පාලනය ආරක්ෂා කරයි. එහෙත් උතුරු කොරියානු අපනයන තහනම් කිරීමට සහ ආයෝජන සීමා කිරීමට තීන්දු කෙරෙන එක්සත් ජාතීන්ගේ නව නිර්දේශවලට චීනයේ සහයෝගය ලැබෙන හැඩක් පවතින බව අලුතින් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

චීනයට අපනයනය කෙරෙන ගල් අඟුරු සහ වෙනත් අමුද්‍රව්‍ය උතුරු කොරියාව සතු සීමිත ආදායම් මාර්ගවලින් එකකි. ප්යොංයැං පාලනය කෙරෙහි බලපෑමක් වශයෙන් උතුරු කොරියාවෙන් ගල් අඟුරු මිළදී ගැනීම අත්හිටවීමට මේ වසර මුලදී බේජිං පාලනය පියවර ගත්තේය.

– බීබීසී සිංහල –