SRILANKAN NEWS

විදේශ ආයෝජනවලදී රටේ ස්වාධීනත්වයට හානියක් නෑ – ජනපති

විදේශ ආයෝජනවලදී රටේ ස්වාධීනත්වයට හානියක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ආයෝජන සම්බන්ධයෙන් විදේශ රටක් හෝ සමාගමක් සමග ගිවිසුමකට එළැඹිමේදී ඊට අදාළ අවශ්‍යතාවයන් සපුරාලනු විනා භූමියේ අයිතිය කිසිසේත් ඔවුන්ට හිමි නොවන බවට විශේෂ ප්‍රකාශයක් එම ගිවිසුම් තුළ අන්තර්ගතකර තිබෙන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ චීන – ශ්‍රී ලංකා තානාපති සබඳතාවලට හැට වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විද්වත් හමුව අමතමිනි.

රටක් ලෙස දියුණුවීමේදී ලෝකයේ ආර්ථික වශයෙන් සවිමත් ජාතින්ගේ සහය අවශ්‍ය බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා මිත්‍රශීලි සහ සුහදශීලි විදේශ ප්‍රතිපත්තියක් තුළින් එම සියලූදෙනාගේ සහාය අද ශ්‍රී ලංකාවට හිමිකරගැනීමට වත්මන් රජයට හැකිවී තිබෙන බව ප්‍රකාශ කළේය. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවට බලපෑ බොහෝ අහිතකර තත්වයන් මගහරවා ගැනීමට පසුගිය වසර දෙක හමාර තුළ වත්මන් රජයට හැකිවූ බව ද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා විදේශ වත්කම් ඉහළ නංවා ගැනීමට මෙන්ම විදේශ ණයබරින් නිදහස්වීමට රජය ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල මේ වන විට පෙනෙන්නට තිබෙන බව ද සඳහන් කළේය.