WORLD NEWS

තව දින කිහිපයකින් ප්‍රහාර සුදානම් -උතුරු කොරියාව

ශාන්තිකර සාගරයේ පිහිටි ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත අසලට මිසයිල හතරක් එල්ල කෙරෙනු දැක ගතහැකි සැලැස්ම තව දින කිහිපයකින් සුදානම් වනු ඇති බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර සිටියේ, තම රටේ නායක කිම් ජොන්ග් අන් අදාළ සැලැස්ම අනුමත කළහොත් මෙම මිසයිල ජපාන භූමියට ඉහළින් පියාසර කොට ගුවාම් දූපතට සැතපුම් 17ක් පමණ නුදුරින් මුහුදට පතිත වනු ඇති බවය.

මෙම ප්‍රහාරය සඳහා උතුරු කොරියාව තුළ නිෂ්පාදිත, මධ්‍යම හා දිගුදුර අතර පරාසයේ හ්වාසොංග් – 12 වර්ගයට අයත් මිසයිල යොදා ගන්නා බව උතුරු කොරියානු හමුදාව නිවේදනය කළේය.

“රෙජීමයේ අවසානය”

උතුරු කොරියාවේ ක්‍රියා කලාපය, එරට “රෙජීමයේ අවසානය” බවට පත්විය හැකි යයි පවසමින් එක්සත් ජනපදය අනතුරු අඟවා තිබුණි.

ඇමරිකාවට එරෙහිව කෙරෙන ඕනෑම ආකාරයක යුද්ධයක් සඳහා උතුරු කොරියාව හෝ එහි මිත්‍ර රටවල් “කිසිසේත්ම තරම් නොවන” බව එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් පැවසීය.

උතුරු කොරියාව කර ඇති තර්ජනය හුදෙක් දේශාභිමානය සඳහා කරන ලද්දක් බවත් එවැනි පහරදීමක් සිදු කළහොත් එය උතුරු කොරියානු රෙජීමයට “දිවි හානි කරගැනීමක්” විය හැකි බවටත් ගුවාම් හි බොහෝ වැසියන් සිතන බව එහි සිටින බීබීසී මාධ්‍යවේදී රූපට් වින්ග්ෆීල්ඩ් හේස් කියා සිටියේය.

ගුවාම් දූපත අසලට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්ම පිළිබඳව උතුරු කොරියානු හමුදාව විසින් නිවේදනය කරනු ලැබුවේ, ලෝකය මින් පෙර නොදුටු “විනාශකාරී කොපාග්නියකට” උතුරු කොරියාව මුහුණ දෙනු ඇතැයි යනුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනාත්මකව ප්‍රකාශයක් කිරීමෙන් පැය කිහිපයක් ඉක්ම යද්දී ය.

– බීබීසී සිංහල –

2 Comments

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *