WORLD NEWS

සියෙරා ලියෝන් සිඳු වූ නාය යෑමෙන් 179ක් ජීවිතක්‍ෂයට

සියෙරා ලියෝන්හි ෆ්‍රීටවුන් අගනුවර ආසන්නයේ සිදු වූ නාය යාමට හසුව අවම වශයෙන් 179 දෙනෙකුවත් මරණයට පත්ව ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. සඳුදා (අගෝස්තු 14) ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග රීජන්ට් කලාපයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නාය යාමෙන් නිවාස ගණනාවක් යට විය.

මඩ සහිත පස් කන්ද කඩා වැටුණු අවස්ථාවේ බොහෝ දෙනා තද නින්දේ සිටින්නට ඉඩ තිබෙන බව ද ඔහු පවසයි. සියෙරා ලියෝන්හි උප ජනාධිපති වික්ටර් බෝකාරි කියා සිටියේ සිය ගණනක් මිහිදන්ව ඇතැයි අනුමාන කළ හැකි බවය.

අනතුර සිදු වූ ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඇතැම් පුද්ගලයන් නිවාස තුළ සිරව සිටිය හැකි යැයි බිය පළ වන බවත් උප ජනාධිපතිවරයා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

සියෙරා ලියෝනය නිරන්තරයෙන් ගංවතුර උවදුරට මුහුණ දෙන අතර, ඒ අවස්ථාවල අනාරක්ෂිත බොහෝ නිවාස ධාරානිපාත වර්ෂාවත් සමග ගසා ගෙන යාම ද සුලබ සිදුවීමකි.

2015 දී ධාරානිපාත වර්ෂාවෙන් අනතුරුව අගනුවර හටගත් ගංවතුරට කොටු වී 10 දෙනෙකු මියගිය අතර, දහස් ගණනකට උන්හිටි තැන් අහිමිවිය.

– බීබීසී සිංහල –