SRILANKAN NEWS

මේ වසරේ කිසිඳු මැතිවරණයක් නැහැ – මහින්ද දේශප්‍රිය

මේ වසර තුළ පැවැත් විය යුතු පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පවතින ප්‍රායෝගික ගැටලු නිසා වසර අවසන් වීමට පෙර පැවැත්විය නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

නැඟෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා තුනෙහි නිල කාලය, ඔක්තෝබර් මස 01 වැනිදා වනවිට අවසන් වීමට නියමිතය.

එම පළාත් සභාවල ඡන්දය විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ දිනය ඔක්තෝබර් 02 වැනිදා ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවස්ථා කිහිපයකම ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කළහොත් නාමයෝජනා භාරගැනීමේ දිනය ඔක්තෝබර් 25 වැනිදායින් අවසන් කෙරෙනු ඇත.

නාම යෝජනා භාරගත් දින සිට සති 05ත් 08ත් අතර සෙනසුරාදා දිනයක ඡන්ද විමසීම සිදු කළ යුතු බව පළාත් සභා ඡන්ද විමසීම් ආඥා පනතේ පැහැදිලිව සඳහන් වෙයි.

නාම යෝජනා භාරගැනීම අවසන් කිරීමෙන් පසු සති අටක කාලය අවසන් වන සෙනසුරාදා දිනය දෙසැම්බර් 02 වැනි සෙනසුරාදා වන අතර ඊට පසුදින 03 වැනිදා උඳුවප් පුරපසළොස්වක පොහොය දාට පෙර දිනය වන බැවින් එදින ඡන්ද කටයුතු සඳහා ඡන්ද මධ්‍යස්ථාන ලෙස පාවිච්චි කරන විහාරස්ථානවලින් විරෝධතා පැනනැඟීමට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සැලකිල්ලට භාජන වී ඇත.

ඊළඟට යෙදෙන දෙසැම්බර් 09 වැනිදා සෙනසුරාදා ඡන්ද විමසීම සිදු කළ හොත් ඡන්ද මධ්‍යස්ථාන ලෙස පාවිච්චි කරන පාසල්වල ගණන් කිරීමේ කටයුතු 10 වැනිදාත් සිදු කිරීමට සිදුවන බැවින් එම පාසල් නිදහස් කළ හැකි වන්නේ 11 වැනිදා බැවින් 12 වැනිදා අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා 11 වැනිදා විභාග කොමසාරිස්වරයා යටතට එම පාසල් පත්කිරීම ගැටලුවක් වී ඇති බව පෙනී ගොස් ඇත.

මේ තත්ත්වය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැටලුවක් වී ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළහොත් එම පනත සහතික කළ දිනයේ පටන් එහි ඇති සංශෝධන, මුල් පනත හා සසඳා ප්‍රකාශයට පත් කිරීමට මාස තුනක පමණ කාලයක් ගත විය හැකි බව සඳහන් කරන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කාලවකවානුවෙන් පසු ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවුවහොත් පළාත් සභා ඡන්දය පැවැත්වීමේදී මතුවන ප්‍රායෝගික ගැටලුවම පැන නැඟීමට ඉඩ ඇති බව පැවැසීය.

මූලාශ්‍ර මව්බිම