SRILANKAN NEWS

වී ගබඩාව විවෘත කිරීමේ උත්සවයට කෘෂිකර්ම අැමැතිට ආරාධනා කර නැහැ –

කිලිනොච්චිය ඉරණමඩු වැව් සංවර්ධනයෙහි ඉපාට් ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වී ගබඩා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති වන මහ ඇමැතිවරයාට ආරාධනා නොකිරීම ගැන ගොවි ජනතාව සිය කනස්සල්ල පළ කර තිබේ.

ඉරණමඩු සංවර්ධනයේ කොටසක් වන ඉපාට් ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඉරානාදපුරම්, පන්නන්කන්ඩි වී ගබඩා මධ්‍යස්ථානය අද (21) දින විවෘත කෙරුණි. මෙම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, විශේෂ ආරාධිතයා ලෙස දිස්ත්‍රික්ක දිසාපතිවරයාට ඇරයුම් කර තිබූ නමුත් ඔහු සහභාගි නොවූහ.

පසුගිය කාලයේ ඉරණමඩු සංවර්ධනය යටතේ සිදුකරන සියළු කටයුතුවලට උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති, සහ මහ ඇමැතිවරයාට ද ආරාධනා කර තිබුණි. නමුත් දැනට උතුරු පළාත් සභාවේ ඇතිවී තිබෙන අර්බුදකාරි තත්වයෙන් අනතුරුව උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ට ආරාධනා නොකර වැඩසටහන් සිදුවේ.

ඒ අනුව ගොවි ජනතාව වෙනුවෙන් පැවැති මෙම උත්සවයට ද කිලිනොච්චියෙන් එල්ලවූ දේශපාලන බලපෑම් මත උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති වන මහ ඇමැතිවරයාට ඇරයුම් කර නොමැති බව ගොවි ජනතාව පවසති. මහ ඇමැතිවරයාට ආරාධනා කළේ නම් තමන් කිසිසේත්ම එම උත්සවයට සහභාගි නොවන බවට කිලිනොච්චියේ දේශපාලකයෙකු පවසා සිටීම හේතුවෙන් මෙලෙස මහ ඇමැතිවරයාට ඇරයුම් කර නැති බවත්, ඔවුන්ගේ මෙවැනි දේශපාලන තරගකාරි තත්වය තම අනාගත ගොවිතැන් කටයුතුවලට බාධාවක් වනු ඇතැයි ගොවි ජනතාව සිය කනස්සල්ල පළ කර තිබේ.