SRILANKAN NEWS

දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර අරගල ක්‍රියාත්මක කරනවා – සිවාජිලිංගම්

දේශපාලන සිරකරුවන්ගේ නිදහස් අවධාරණය කර උතුර නැගෙනහිර පළාත්වල අරගල පැවැත්වීමට සූදානම් බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි. යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (22) දින පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

දේශපාලන සිරකරුවන් විශාල පිරිසක් වසර 20කට අධික කාලයක් බන්‍ධනාගාර ගතව සිටිනවා, එලෙස බන්‍ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවන්ව පොදු සමාවක් ලබාදී ජනපතිට නිදහස් කළ හැකිය. නමුත් ජනාධිපතිවරයා එය ඉටුකිරීමට ඉදිරිපත්වන්නේ නැහැ. ජනාධිපතිව ඝාතනය කිරීමට තැත් කළැයි චෝදනා ලැබූ පුද්ගලයෙකුට පොදු සමාව ලබාදී නිදහස් කළේය. එය ජාත්‍යන්තරයම රැවටීමට කළ නාඩකමකි. යුද්දය පැවැති කාලයේ සහ ඉන්පසු ද අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවන් බන්‍ධනාගාරවල රඳවා තබා සිටිනවා.

මෙහි ඇතැම් සිරකරුවන්ට නීතිමය සහාය ලබා ගැනීමට ද අවස්ථාවක් ලබාදී නැහැ. දෙමළ දේශපාලන සිරකරුවන් පමණක් නොවේ මුස්ලිම් හා සිංහල දේශපාලන සිරකරුවන් ද මෙලෙස රඳවා තබාගෙන සිටිනවා.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතුයි. නැතිනම් අතුරුදන්වූවන් සඳහා වූ අරගලය, ඉඩම් නිදහස සඳහා වු අරගලයට අමතරව දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර ද උතුර නැගෙනහිර පළාත්වල අරගල පවත්වනවා.