SRILANKAN NEWS

උතුරු පළාත් සභාවේ නව ඇමැතිවරුන් දිවුරුම් දෙයි..

උතුරු පළාත් සභාවේ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, ප්‍රවාහන කටයුතු ඇමැතිවරයා ලෙස උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ අද (23) සවස ආණ්ඩුකාර කාර්‍යාලයේදී දිවුරුම් දුන්නේය.

මේ අතර, උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා ලෙස බුලොට් පක්‍ෂයේ මුල්ලතිව් දිස්ත්‍රික්ක පළාත් සභා මන්ත්‍රී කන්දයියා සිවනේෂන් මහතා දිවුරුම් දුන්නේය.

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්‍ෂ සේවා අමාත්‍යවරයා ලෙස ටෙලෝ පක්‍ෂයේ වෛද්‍ය ආචාර්‍ය ඥානසීලන් ගුණසීලන් මහතා ද, උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවස්‍ය ප්‍රවර්ධන, වෙළඳ හා වාණිජ අමාත්‍යවරිය ලෙස ආනන්දි සසිදරන් මහත්මිය ද අද දින ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති පි. සත්‍යලිංගම් ධූරයෙන් ඉල්ලා අස්වූ අතර, ටෙලෝ පක්‍ෂය ධීවර කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ පී ටෙනිස්වරන්ව පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මහ ඇමැතිවරයා විසින් ඔහුව අමාත්‍ය ධූරයෙන් ද ඉවත් කරන බව දැනුම් දී තිබීම විශේෂත්වයකි.