SRILANKAN NEWS

බොරු තර්ක ඉදිරිපත් නොකර මේ වසර අවසානයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි – අනුර කුමාර

බොරු තර්ක ඉදිරිපත් නොකර මේ වසර අවසානයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඊයේ (27) දින පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, “මීට පෙර ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට ඉදිරිපත් කළ තර්කය වූයේ සීමා නිර්ණයේ ගැටලු සහ පැවති ඡන්ද ක‍්‍රමයට සංශෝධන ඇතුළත් කිරීමේ ගැටලුයි. නමුත් දැන් නීතිය සම්මත වෙලා තිබෙනවා. තව දුරටත් මැතිවරණය පමා කරන්න ආණ්ඩුවට හේතුවක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා පනත සම්මත වෙලා කොමිසමට ආවාට පසුව දින 75කින් පසුව මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. එම නිසා පළාත්පාලන ඇමතිවරයා පළමුවෙන්ම පනතට අදාල ගැසට් පත‍්‍රය නිකුත් කළ යුතුය.

කථානායකවරයා පනතට අත්සන් කොට නීත්‍යානුකූල කළ යුතුයි. පසුව මැතිවරණ කොමිසමට මැතිවරණයක් පැවැත්වීමට කරුණු ඉදිරිපත් කළ යුතුයි. පනත, සීමා නීර්ණය සියල්ල සූදානම්. නමුත් ආණ්ඩුවේ මැදිහත්වීම ප‍්‍රමාදයි. එනිසා අපි ආණ්ඩුවට කියනවා, තවත් බොරු තර්ක ඉදිරිපත් නොකර මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පවත්වන්න කියලා.”