SRILANKAN NEWS

ජනපති සහ ජගත් මානව හිමිකම් කොමසාරිස් අතර සාකච්ඡා හමුවක්..

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අතර හමුවක් ඊයේ (22) පස්වරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්විණි.

එහිදී, ශි‍්‍ර ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යක් ලෙස එහි ප‍්‍රඥාප්තීන්ට අනූකූලව, ශී‍්‍ර ලංකාවේ ජනයාගේ යහපත වෙනුවෙන් ඉතා වගකීමෙන් යුතුව, කටයුතු කරන බවත්, මනව හිමිකම් සහ සංහිදියාව තහවුරු කිරීම වෙනුවෙන් වන කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හමුවේ පවසා තිබේ.

මෙම පියවර ගැනීමේ දී හදිසියේ කටයුතු කිරීමේන් අන්තවාදී පිරිස් වෙත අනවශ්‍ය වාසියක් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ යෝජනාවේ ඇතුළත් කරුණු සම්පූර්ණ කිරීමට වසර දෙකක කාලයක් තම රටට ලැබී ඇති බවත්, ශී‍්‍ර ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සියැසින් දැක ගැනීමට ඉදිරි වසරේ දී ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් මහකොමසාරිස් වරයාට ආරාධනා කර තිබේ.

අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටවීමට අදාළ ගැසට් නිවේදනයට මෙම සංචාරයට පෙර තමන් අත්සන් තැබූ බවත්, එහි කටයුතු සකී‍්‍රයව ඉදිරියට යනු ඇති බවත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබද දළ කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කටයුතු කොට ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

ශී‍්‍ර ලංකාව මෙම කරුණු සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව මෙහිදී සදහන් කළ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු, ප‍්‍රගතිය අත්කරගැනීම වෙනුවෙන් යන ගමන තවත් වේගවත් වන්නේ නම් සතුටු වන බවත්, එසේම අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමට ගත් පියවර අගය කළ හුසේන් කුමරු ඊට අදාළ පත්කිරීම් සිදුකිරීමේදී සියලූ ජන වර්ග වලට පිළිගතහැකි ආකාරයෙන් පත්කිරීම් සිදු කරන ලෙස ද ඉල්ලා තිබේ. තවද මෙම කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ශී‍්‍ර ලංකාවට උපරිම සහාය දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලය කටයුතු කරන බව ද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.