WORLD NEWS

කුර්දි ජනමත විචාරණයේ ප්‍රතිඵලය

උතුරු ඉරාකයේ කුර්දි කළාපය නිදහස් රාජ්‍යයක් බවට පත් විය යුතු බව පසුගිය සඳුදා පැවැත්වුණු ජනමත විචාරණයේ දී එහි වෙසෙන අති බහුතර කුර්දි ජනතාවගේ නිගමනය වී තිබේ.

කළාපයේ වෙසෙන මිලියන 3.3 ක ජනගහනයෙන් කුර්දි ජාතිකයන් සහ කුර්දි ජාතිකයන් නොවන වැසියන් 92% ක් බෙදී වෙන්වීමට සහාය දක්වා තිබෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

කුර්දි කළාපයේ ජනමත විචාරණය මතභේදයට තුඩු දුන් අතර එය අවලංගු කරන මෙන් ඉරාකයේ අගමැතිවරයා අවසන් මොහොතේ පවා ඉල්ලීමක් කළේය.

ඒ වෙනුවට රටේ ව්‍යවස්ථාව මත පදනම් වී ඉරාක පාලනය සමග සාකච්ඡා කරන මෙන් අගමැති හයිදර් අල් අබඩි කුර්දි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර කුර්දි නායකයන් පවසන්නේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව ඉරාක සහ අසල්වැසි රටවල නායකයන් සමග සාකච්ඡා පැවැත්වීම පිණිස තමන්ට ජනවරමක් ලැබී තිබෙන බවය.

විශේෂයෙන්ම අයිඑස් (IS) ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එරෙහි සිය සටනට අහිතකර බලපෑමක් එල්ලවනු ඇතැයි බියෙන් ඉරාකය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද ජනමත සමීක්ෂණයට විරෝධය පළ කළේය.

එබැවින් ඛනිජ තෙල්වලින් පොහොසත් කිර්කුක් නගරය සහ මතභේදයට තුඩු දී තිබෙන අනෙක් පළාත්වල හමුදාව රඳවන මෙන් ඉරාක පාර්ලිමේන්තුව අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ තත්වය යටතේ රටවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට සිය ආණ්ඩුවේ ප්‍රමුඛත්වය හිමිවන බව පවසන ඉරාක අගමැතිවරයා, කුර්දිස්තාන කළාපය තුළ හෝ පිටත සිටින සියලුම කුර්දි ජාතික පුරවැසියන් ආරක්ෂා කරන බව ද ප්‍රතිඥා දුන්නේය.

ජනමත විචාරණය පිළිබඳව “බරපතල අවධානය” පළ කළ ඇමෙරිකා එක්සත් ජනපදය මේ අතර කුර්දි කළාපයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කරන බවට ඉරාක අගමැතිවරයා කළ ප්‍රකාශය ද විවේචනයට ලක් කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ලෙබනනයේ Middle East Airlines සහ EgyptAir ගුවන් සේවා ලබන සිකුරාදා සිට ඉර්බිල් (Irbil) නගරයේ සිට කෙරෙන ගුවන් ගමන නවතා දමන බව සඳහන් කර තිබේ.

BBC Sinhala