SRILANKAN NEWS

ආනයනය කරන කෘෂිකාර්මික භාණ්ඩ සහ උපකරණ බදුවලින් නිදහස් කරනවා – ජනපති

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය සාර්ථක කර ගැනීම සඳහා, පිටරටින් ගෙන්වන සියලු ම කෘෂිකාර්මික භාණ්ඩ සහ තාක්ෂණික උපකරණ බදුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ (06) පෙරවරුවේ කැකිරාව තිබ්බටුවැව වෙල්යාය පරිශ‍්‍රයේ පැවති ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ සමාරම්භක උත්සවයට සහභාගිවෙමින් ජනපතිතුමා මේ බව පවසා තිබේ.

රටේ දිළිඳුකම තුරන් කරමින් රට යළි ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙනයන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන, ජාති, ආගම් සහ සංස්කෘතික බේදයකින් තොරව රටේ සියලු පුරවැසියන් එක්විය යුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා ආණ්ඩුවට දොස් කියමින් පෙළපාළි යන සියලුදෙනාගෙන් ද එම කටයුතු පසෙකලා රටට ආදරය කරන සැබෑ පුරවැසියන් ලෙස මෙම ජාතික වැඩසටහන සමග එක්වන ලෙස තමා ඉල්ලා සිටින බව ද පවසා තිබේ.

රටේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තුළ ගොවි ජනතාව ණය බරින් නිදහස් කර ගනිමින් ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් මෙන්ම සමාජ පිළිගැනීමක් සහිත හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට අවශ්‍ය පහසුකම් සහ සම්පත් ලබාදෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කිරීම සඳහා රජයක් ලෙස ගතයුතු, ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.