SRILANKAN NEWS

ඉන්ධන මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ – අර්ජුන රණතුංග

ඉන්ධන මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (6) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි. ඕ.සී සමාගම (ඉන්දියන් ඔයිල් සමාගම) හා මුදල් අමාත්‍යාංශයත් තමා සමඟ ද සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා දැනට තෙල් මිල වැඩි නොකරන ලෙස රජයක් ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබෙන බවත් සඳහන් කළේය.

“නමුත් මම කිව්වේ දැනට තෙල් මිල වැඩි කරන්න එපා කියලා. ඒක රජයේ ඉල්ලීමක්. නමුත් අයි. ඕ. සී එක තෙල් මිල වැඩි කළොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෙස අපි පාඩු ලබා ගෙන තෙල් සපයන්න ඉදිරිපත් වෙන්න ඕන. මම හිතනවා මේ වෙලාවේ තෙල් මිල වැඩි කිරීමට අවශ්‍ය වුණත් ජනතාව පැටවෙන බර ගැන හිතලා එහෙම කළ යුතු නැහැ. නමුත් රජය තීරණය කළොත් අපිත් වැඩි කරන්න ඕන කියලා අපිටත් ඒකට එකග වෙන්න වෙනවා. කෙසේනමුත් තෙල්මිල වැඩි වුණාම එය සියලු අංශයන්ට බලපානවා. එයින් තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒගැන තමයි මම හුඟක් දුරට බලන්නේ. ඒ නිසා දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නැහැ. මගේ පෞද්ගලික මතය ඔබ ඇහුවොත්, මම කියන්නේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වගේ ආයතන ලාභ ලබන ආයතන බවට පත් විය යුතු නැහැ. විශේෂයෙන්ම අපි මහජනතාවට සහන දෙන්න අවශ්‍යනම්. එහෙම නැතිව මහජනතාව ගැන සිතන්නේ නැතිව ලාභය ගැන හිතනවා නම් මේ ආයතනයට ලාභ ලබන්නත් පුළුවන්. ඉතිං අපි යන්න ඕන මධ්‍යස්ථ තැනකට. සහන දෙන ගමන් පාඩු නොලබන තැනකට මේ ආයතන ගෙන යා යුතුයි. එහෙම කරන්න පුළුවන් වුණොත් එය අපි ලබන ලොකු ජයග්‍ර‍හණයක්….” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.