ගංවතුර සහ නායයාම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම ඇතුලු අනෙකුත් සියලුම ප්‍රශ්න නොවැම්බර් මාසය අවසන් වීමට පෙර විසඳිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේ ආපදාවට පත් දිස්ත්‍රික්කව රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ගංවතුර සහ නායයාමේ විපත්වලින් හානියට පත් ගාල්ල, මාතර, රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (13) පැවති සීමාසහිත මොරවක්කෝරළයේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිති ශාලාවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.
මේ ප්‍රදේශයට බලපෑ ගංවතුර සහ නාය යාමේ විපත්වලින් පසුව මා මෙහි පැමිණි තෙවැනි අවස්ථාව මෙයයි. 2003 වසරේ මේ ප්‍රදේශයට ගංවතුර උවදුරක් ඇති වුණා. ඒ යුගයේ එම සහන කටයුතු අප කරු ජයසූරිය මහතාට බාර දුන්නා. මාස දෙකක් ඇතුළත ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා. 2003 වසර අවසන් වීමට පෙර අනෙක් වැඩ කටයුතු කළා පමණක් නොව, මා දෙනියාය, හිනිදුම යන ප්‍රදේශවලට පැමිණ නිවාස ව්‍යාපෘති කිහිපයක් ද විවෘත කළා.
එම වේගයෙන්ම අපට මේ වතාවේත් වැඩ කළ හැකි දැයි මා විමසිලිමත් වුණා. නමුත් අපට එම වේගයට වැඩ කටයුතු කිරීමට මෙවර නොහැකි වී තිබෙනවා. පළමුවෙන්ම මේ ගංවතුර උවදුර ඇති වූ අවස්ථාවේ දී කොළඹදී අවශ්‍ය කටයුතු සැලසුම් කිරීමට මට අවස්ථාව ලැබුණා. මෙම ගංවතුර තත්ත්වය ඇති වූයේ සති අන්තකයකදීයි. ජනාධිපතිතුමා ඉරිදා දින කලුතර, රත්නපුර ආදී ප්‍රදේශ කිහිපයකට පැමිණියා. මේ සියලු මූලික කටයුතු මැයි මාසයේ දී අවසන් වුණා. ඒ මූලික වැඩ කටයුතු අවසන් වුවත් විසඳීම සදහා තවමත් ප්‍රශ්න රාශියක් ඉතිරි වී තිබෙනවා.
ගංවතුර සහ නායයාම් හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම ඇතුලු අනෙකුත් සියලුම ප්‍රශ්න නොවැම්බර් මාසය අවසන් වීමට පෙර විසදිය යුතුයි. එය කළ හැකි නිශ්චිත දිනයක් මට ලබා දෙන්න. තවත් ඉදිරියට එම වැඩ කටයුතු පමා කරන්න එපා. මේ කටයුතු ඔබට කරන්නට බැරි නම් දැනුම් දෙන්න. මා ජනාධිපතිතුමන් සමග ද සාකච්ඡා කොට වෙනත් පිරිසක් යොදවා ඊළග මාසයේ දී ඒ වැඩ කටයුතු අවසන් කරන්නම්.
දැනට ලබා ඇති ප්‍රගතිය දෙස බලා ඉදිරි කටයුතු කෙසේ සිදු විය යුතු දැයි තීරණය කළ යුතුයි. වන්දි ගෙවීම්, ව්‍යාපාරිකයන්ට මුදල් ලබාදීම් මෙන්ම තේ වගාවන් සදහා මුදල් ලබාදීම පිළිබදව මා මීට පෙර සාකච්ඡා කළා. මේ වැඩ කටයුතු තුන නිසි පරිදි ඉටු කළා නම් පහසුවෙන්ම මේ ප්‍රදේශයේ ආර්ථිකය එක් වරම යථා තත්ත්වයට පත් වෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ නිවාස සහ ව්‍යාපාර සඳහා වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳව මුලින්ම අවධානය යොමු කරමු. මාතර දිස්ත්‍රික්කයේ හානි වූ ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 356 ක දැනට ගෙවිය යුතුව තිබෙනවා. ඒ සඳහා ඉල්ලූම්පත් 1361 ක් ලැබී තිබෙනවා. ඔක්තෝබර් 10 වැනි දා වන විට මේ අය ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. හානි වූ ගොඩනැගිලි ඉල්ලුම්පත් 1361 න් එකක් සඳහාවත් ගෙවීම් කර නැහැ. එම නිසා රුපියල් මිලියන 356 ක මුදලින් සතයක්වත් ගෙවා නැහැ.
ගෙවීම් සඳහා මෙතරම් ප්‍රමාදයක් සිදු වී ඇත්තේ ඇයි? ඒ සඳහා ජාතික රක්‍ෂණ භාර අරමුදල කරුණු දැක්විය යුතුව තිබෙනවා.
විපතට පත්වූ ජනතාව වෙනුවෙන් අප කඩිනම් සහන සැලසිය යුතුයි. ඔබේ නොයෙක් කතන්දර අසමින් කාලය ගත කරන්නට මට වෙලාවක් නැහැ. මෙහි බිලියන 7.5 ක සහන ඉල්ලූම් කර තිබෙනවා. එම මුදලින් බිලියන 2 ක් ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. එම මුදල ඉතා ඉක්මනින් ගෙවා දමන ලෙසත්, ව්‍යාපාර දියුණු වන විට ආර්ථිකය ඉබේම ඉහළ නගින බවත්, අප මුලදීම දැනුම් දුන්නා. ඔබ නිසියාකාරව වැඩ කටයුතු කළා නම් ගමේ ආර්ථිකයට අවශ්‍ය තරම් මුදල් ලැබෙනවා. නමුත් ඒ මුදල ඔවුන්ට ලැබුණේ නැහැ. මේ තරමටවත් ගමේ ආර්ථිකය ඉහළ නැග ඇත්තේ තේ මිල ඉහළ ගොස් තිබෙන නිසයි.
මෙම සියලූම මුදල් අනුමත කර යැවූ බව දිස්ත්‍රික් ලේකම්වරුන් පවසා තිබෙනවා. එලෙස අනුමත කර එවූ මුදල් ජාතික රක්‍ෂණ භාර අරමුදල ඉක්මනින් ගෙවන්නේ කෙසේදැයි දැනුම් දෙන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියලූ වැඩ කටයුතු නිම කර තිබෙනවා නම් සිදු වී තිබෙන ප්‍රමාදය කුමක්ද? නොවැම්බර් මාසය අවසන් වන විට සියලූම ගෙවීම් කටයුතු අවසන් කරන්න. නැවත පැමිණිලි ලැබෙන්නට ඉඩ තබන්න එපා.
රජයේ ප්‍රතිපත්තිය වන්නේ ආර්ථිකය කඩා වැටුණු ජනතාවගේ අතට හැකි ඉක්මනින් මුදල් ලබාදීමයි. රජය ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා. එසේ නම් දැන් තිබෙන ප්‍රශ්නය කුමක්ද? මුලින්ම ඔබලා මේ කටයුතුත්ත කරන්නට නොහැකි බව කියා සිටියා නම් “හෙලිකොප්ටර තුනක් අරගෙන මුදල් පටවා ගෙන ගොස් ඕනෑම කෙනෙකුට ගෙන වියදම් කරන්නැයි කියා බිමට දමන්නට තිබුණා.” එවිට, අවම තරමින් ආර්ථිකයට මුදල් ටිකක් හෝ ලැබෙනවා.
අප ලබාදුන් සියලූම මුදල් මේ වසර අවසන් වීමට පෙර ජනතාවගේ අතට ලැබෙන ක්‍රමවේදය සකස් කළ යුතුයි. එය සමාජ සේවා ප්‍රතිපත්තියක් පමණක් නොව, ආර්ථික ප්‍රතිපත්තියක් ද වන බව මතක තබා ගන්න.
ඉන් පසුව අප “අත්වැල” ණය යෝජනා ක්‍රමයේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කරමු. මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා මහජන බැංකුව නියෝජනය කරමින් පැමිණ සිටින්නේ කවුද? මහජන බැංකුවේ සභාපතිවරයාට මෙහි පැමිණෙන්නැයි මා දැනුම් දුන්නා. ඔහු අද මේ ස්ථානයට පැමිණ නැද්ද? ඔහු අද මෙහි පැමිණ නැත්නම් ඔහුට දුරකථනයෙන් කතා කොට සිදුවී ඇති දෙය පිළිබඳව මට දැනුම් දෙන්න.
වෙන් කර ඇති මුදල් ප්‍රමාණය අපි ගම්මානවලට ලබා දෙන්නේ කෙසේද? සාමාන්‍ය බැංකු ක්‍රමය යටතේ මේ දිස්ත්‍රික්ක පහේ කටයුතු සඳහා ජනතාවට සහන ලබාදිය යුතුව තිබෙනවා. ගංවතුර ණය, අත්වැල ණය ක්‍රමය, සෙසු මුදල් ජනතාවට කඩිනමින් ලබාදිය යුතුයි. මා කළ අධ්‍යයනයේ දී අවබෝධ වූ කරුණ නම් මේ දිස්ත්‍රික්කවල බැංකුවලින් සියයට සියයක් සහන ක්‍රියාත්මක නොවන බවයි.
මෙහිදී බැංකුවලින් එක් ඉල්ලීමක් කරන්නට මා කැමතියි. බොහෝ විට බැංකු ණය ලබා දෙන්නේ දැනට ව්‍යාපාරවල නිරත අයටයි. ඒ සම්බන්ධයෙන් වරදක් කියන්නට බැහැ. නමුත් අලූත් ව්‍යාපාර ආරම්භ කරන අයටත් ණය පහසුකම් ලබාදීම පිළිබඳව සලකා බලන්න. බැංකු ණය වානිජ පදනමක් මත යොදවනවා නම් මීට වඩා මේ ප්‍රදේශවල බිම් මට්ටමේ දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් එක්ව ඒ ඒ ප්‍රදේශවලට අදාළ පෞද්ගලික සහ රාජ්‍ය බැංකු මුණගැසී මේ පිළිබඳවව අපට වාර්තාවක් ලබා දෙන්න. ගංවතුරෙන් විශාල හානියක් සිදු වුණත් තේ ආර්ථිකයේ දියුණුව නිසා ආර්ථිකය කඩා නොවැටී, ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. මේ මුදල් හරියාකාරව ලබා දෙනවා නම් බිම් මට්ටමෙන් සංවර්ධනය තවත් වේගවත් කළ හැකියි.
ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත හම්බන්තොට සංවර්ධන වැඩ කටයුතු සහ ගාල්ලේ සංචාරක වැඩසටහන් පිළිබඳව සලකා බැලූ විට කුඩා ව්‍යාපාරිකයන්ට මීටත් වඩා ව්‍යාපාරික අවස්ථා උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. තමන්ගේ ප්‍රදේශයේ අයට මුදල් ලබා දීමට නොහැකි නම් වෙනත් ප්‍රදේශවල අය හෝ පැමිණ ව්‍යාපාර අරඹාවි. ඉදිකිරීම් කර්මාන්තය දියුණු වූ විට ආපන ශාලා තවත් වර්ධනය වීමට නියමිතයි. එම නිසා මේ ප්‍රදේශයේ තිබෙන බැංකුවලින් මේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සදහා නව ව්‍යාපාර ඇරැඹිමට අත දිය යුතුයි. ගමේ සිටින ජනතාවට ගමේම ආපන ශාලාවක් ඇරැඹිම, වෙනත් ප්‍රදේශයක සිට පැමිණ එම කටයුත්තේ නිරත වීමට වඩා ලාභදායක වනවා.
සතොස මෙන්ම විවිධ වෙළෙඳ සුපිරි වෙළෙඳසැල්වල ශාඛා ගණනාවක් ගම් මට්ටමෙන් ආරම්භ කිරීම පිළිබඳව අප සාකච්ඡා කර තිබෙනවා. ගංවතුරෙන් සිදු වූ හානියට පිළියම් යොදා ගැනීමෙන් අනතුරුව ඉදිරියේ දී එළැඹෙන සංවර්ධන යුගයට මුහුණ දී කටයුතු කරමු.
මට ලැබී ඇති ප්‍රගති සමාලෝචන වාර්තා අනුව පාලම් ඉදිකිරීමේ කටයුතුවල ප්‍රමාදයක් තිබෙනවා. සෙසු මාර්ග ඉදිකිරීමේ කටයුතුවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය හැකියි.
ජනතාවට සහන සැලසීමේ කටයුතුවල දී නොයෙක් අයට වරද පටවමින් නොසිට තමන්ට හැකි දේ උපරිමයෙන් කළ යුතුයි. මා එක් උදාහරණයක් කියන්නම්. මහා ගංවතුරකින් ප්‍රාදේශීය සභාවට අයත් පාලමක් කැඩෙනවා. මිනිසුන් වතුරෙන් යට වෙනවා. අප මුලින්ම කළ යුත්තේ ගිලෙන මිනිසුන් බේරා ගැනීම මිස එය කුමන පළාත් පාලන ආයතනයකට අයත් දැයි සොයමින් කල් මැරීම නොවෙයි. යම් මුදලක් අයත් වන්නේ මෙතැනට යැයි නීතිය කියනවා නම් ඒ මුදල එතැනට යොදවන්න. මුදල් සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා නම් ජනාධිපති කාර්යාලයට හෝ ගොස් ඒවා විසදා ගන්න. පළාත් සභා මෙහෙය වීමේ දී ආණ්ඩුකාරවරුන්ට හිමිව තිබෙන්නේ ජනාධිපතිවරයාගේ බලයයි. ඒ අයට වෙනත් බලයක් නැහැ.
ලැබී ඇති මුදල් ඉතා කඩිනමින් වියදම් කළ යුතුයි. එලෙස වියදම් නොකළහොත් මේ වසර ගෙවී ගිය පසුව ඒ මුදල් නොලැබී යාවි. මේ වසරේ ලැබුණු මුදල් මේ වසරේම වියදම් කරන්න. ගන්නා තීරණ මෙ වසරේදීම ගන්න.
ආපදා සම්බන්ධ ප්‍රගතිය ගැන අපට සෑහීමට පත්විය නොහැකියි. ඇතැම් දේ පමණක් සිදු වී තිබෙනවා. යටිතල පහසුකම් පිළිබඳව අවධානය යොමු විය යුතුයි. ජනතාවට අදාළ නිවාස ප්‍රශ්න තිබෙනවා. 2003 වසරේ දී අපෙන් එක් අඩුවක් සිදු වුණා. ඒ ආර්ථිකය දෙස අවධානය යොමු නොකිරීමයි. දැන් සියලුම අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ඉදිරියට යනවා.
නොවැම්බර මාසය වන විට කෙටි කාලීන වැඩ කටයුතු සියල්ල අවසන් කිරීම අපේ අරමුණයි. මේ පිළිබඳව තවත් සාකච්ඡාවක් අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි. එලෙස සාකච්ඡාවක් අවශ්‍ය වනවා යනු අපගේ පරාජයයි. එනම් රාජ්‍ය යාන්ත්‍රණයට එම වැඩ කටයුතු කිරීමට නොහැකි බවයි. මේ ප්‍රගතිය ඉදිරියට ගෙන යාම සඳහා වැඩ කටයුතු කරමු.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද, ආයතන ප්‍රධානීහු ද, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ ද සහභාගි වූහ.
Add Comment