SRILANKAN NEWS

ඉදිරි වසර 5 තුළ ශ්‍රී ලංකාවට ඇ.ඩො මිලියන 700ක්

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවේ වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා Millennium Challenge Corporation හි යුරෝපීය, ආසියා ශාන්තකර හා ලතින් අමෙරිකානු රටවල් සඳහා වන උප සභාපතිනී ෆාතිමා සුමර් මහත්මිය පසුගියදා හමු විය.

එහි දී ශ්‍රී ලංකාවට ලබා දෙන ණය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව ප්‍රතිපත්ති ස්ථායීකරණය, ගොඩබිම් ප්‍රවේශය සහ ප්‍රවාහන යන ක්ෂේත්‍රවල ආයෝජන කටයුතු සිදු කිරීම සඳහා ඉදිරි වසර 5 තුළ ශ්‍රී ලංකාවට ඇ.ඩො මිලියන 700ක පමණ ආධාර ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දුප්පත්කම අඩු කිරීම, ආර්ථිකමය අවස්ථාවන් ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ණය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ෆාතිමා සුමර් මහත්මිය ඇතුළු කණ්ඩායමක් ඉකුත් ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබීය. එහි දී ආයෝජන කළ හැකි විශේෂ ක්ෂේත්‍ර හඳුනා ගැනීමට හා විශ්ලේෂණය කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉවහල් වන පරිදි රුපියල් බිලියන 1.1ක ආධාර ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

යහපාලන ඇති කිරීම, දූෂණය තුරන් කිරීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය වෙනුවෙන් මෙම ප්‍රදානයන් ලබා දෙයි.