SRILANKAN NEWS

යාපන අර්ධ ද්වීපයේ භූගත ජලය දූෂණය වීම පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යවරයාට

යාපන අර්ධ ද්වීපයේ භූගත ජලය දූෂණය වීම පිළිබඳව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් විසින් කරන ලද පර්යේෂණයේ වැදගත්කම හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව නගර සැලසුම් හා ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාගේ අවධානයට යොමු කොට ඇත.

ශ්‍රී ලංකාවේ ජල විද්‍යාව හා තාක්ෂණ පිළිබඳ වූ උපාධි පාඨමාලා පවත්වන එකම උසස් අධ්‍යාපන ආයතනයක් වන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් කරන උපාධිධාරීන් සඳහා සුදුසු රැකියා අවස්ථා සොයාබැලීමේ උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැත්වු අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් කරන ලදි.

මෙම උපාධි පාඨමාලාවට ජල රසායන විද්‍යාව, පානීය ජල හා අප ජල පිරිපහදු ක්‍රමවේද, ජල සම්පත්, භූගත ජල තත්ත්වය, ජල දූෂණවීම, ජල සම්පාදන ක්‍රමවේද, පානීය ජල බෙදා හැරීමේ පද්ධති, ජල කළමනාකරණය, පානීය ජලය බෝතල් කිරීම සහ ජල තත්ත්ව විශ්ලේෂණ යනාදි විෂයයන් අන්තර්ගතය.

මෙහි දී මෙම උපාධි පාඨමාලාවේ අන්තර්ගතය සැලකිල්ලට ගෙන එම උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍ය රවුෆ් හකීම් මහතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උසස් මට්ටමේ සාකච්ඡාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශාධිපති ආචාර්ය ජගත් පිටවල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කණ්ඩායමක් ද, අතිරේක ලේකම් ඒ. සී. එම්. නෆීල්, මහාචාර්ය රොහාන් වීරසූරිය, ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය එස්. කේ. වේරගොඩ, සහ සම්බන්ධීකරණ ලේකම් ඒ. ආර්. මන්සූර් යන මහත්වරුන් සහභාගී වූහ.