SRILANKAN NEWS

මෛත‍්‍රී නැවත ජනාධිපතිවරණයට ආවොත් අනිවාර්යෙන් පරාජය කරනවා – විජිත හේරත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධුරය අහෝසි වියයුතු බවත් එසේ නොකර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට පැමිණියහොත් අනිවාර්යයෙන්ම පරාජයට පත්කරන බවත් විධායක ජනාධිපති වෙනුවට විධායක අගමැතිවරයෙකු පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මේ බව අවධාරණය කළ අතර ඒ සඳහා ජවිපෙ මධ්‍යම කාරක සභික, පළාත් සභා මන්ත්‍රී, නීතීඥ සුනිල් වටගල මහතාද එක්වී සිටියහ.

විධායක ජනාධිපති ධුරය නිසා රට ආරක්‍ෂා වුණා කියලා ඇතැම් අය කියනවා. ඒක අසත්‍ය කතාවක්. වර්ධරාජා පෙරුමාල් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් බවට ප‍්‍රකාශයට පත්කරපු වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිවරයා විධායක ජනාධිපති ක‍්‍රමය පාවිච්චි කරලා රට ආරක්‍ෂා කරගත්තා කියලයි කියන්නේ. නමුත් 78 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරයට එවැනි බලතල ලැබිලා නැහැ. හදිසි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන තමයි වර්ධරාජා පෙරුමාල්ගේ ප‍්‍රකාශය නීත්‍යානුකූල වශයෙන් පරාජයට පත්කළේ. එනිසා විධායක ජනාධිපති බලතල පාවිච්චි කරලා රට බේරාගත් බවට කරපු එම ප‍්‍රකාශය අසත්‍ය එකක්. විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් අවශ්‍ය නීති ව්‍යවස්ථාවට ඇතුළත් කරලා එම බලතල පාර්ලිමේන්තුව හරහා හෝ අගමැතිවරයා හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් ඉවත් වන්නෙත් නැහැ. විධායක බලතල තමයි අඩුවෙන්නේ. ඒනිසා විධායක ජනාධිපතිධුරය ඉවත් කළත් රට බෙදන්න නොදෙන නීති හදන්න හැකියාවක් තියෙනවා. බෙදුම්වාදී යුද්ධය ඇතිවුණේ විධායක ජනාධිපති ධුරය තිබියදී. එනිසා ඔය ඉදිරිපත් කරන තර්කවලට පදනමක් නැහැ යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා පවසා සිටියේය.