පසුගිය ජනාධිපතිවරණ සමයේදී (2014 ඔක්තොම්බර් 31 වැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ) යකඩ බට (ජී.අයි. බට) බෙදාහැර රජයට රුපියල් තුන්කෝටි හැටපන්ලක්ෂ නවදහස් එකසිය විසි හතයි සත හැත්තෑ අටක (රු. 36,509,127.78) පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආර්ථික සංවර්ධන ඇමතිව සිටි බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාට එරෙහි නඩුව 2018 වසරේ ජනවාරී 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (27) නියෝග කර ඇත.
අධිකරණය හමුවේ ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා මෙසේ නඩුව කල් තැබීමට නියෝග කර තිබේ.
මෙම නඩුවට අදාළව චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
Add Comment