SRILANKAN NEWS

මෙය රට සම්පූර්ණයෙන් විකුණන්න පාර කපන අයවැයක්… – විජිත හේරත්

වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය මෙන්ම මංගල සමරවීර ඇමතිවරයාගේ මංගල අයවැය රට සම්පූර්ණයෙන් විකිණීමට පාර කපන අයවැයක් බවත් 1977න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (10) පෙරවරුවේ, බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි.

“වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය ඉදිරිපත් කර තිබෙනවා. මංගලගේ මංගල අයවැය කිව්වට මංගලභාවයක් තිබුණේ නැහැ. පරණ තැටියම තමයි අපි දැක්කේ. 1977න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බව මුදල් ඇමති ප‍්‍රකාශ කළා. 77 ක‍්‍රියාත්මක කළ ආර්ථික ක‍්‍රමයෙන් අපේ රට ආර්ථික, සංස්කෘතික, සමාජීය වශයෙන් ආපස්සට ගියා. විශේෂයෙන්ම දේශපාලන සංස්කෘතිය බිඳවැටීම වේගවත්වීමට මේ කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය විශාල ලෙස බලපෑවා. “තවදුරටත් ලිහිල්කරණ ප‍්‍රතිපත්තිය” හරහා ආර්ථිකය ගෙනයන බව මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කළා. මේ ආර්ථිකයේ ජානමය ලක්ෂණ වුණු සහන කප්පාදු කිරීම, ණය, බදු සහ වෙනත් විවිධ බර පැටවීම් මේ අයවැය තුළත් ඇතුළත් කර තිබෙනවා.“ යැයි විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.