SRILANKAN NEWS

ලසන්ත ඝාතන පරීක්ෂණයට ඉහළින් බලපෑම්

lasantha_ලසන්ත වික්‍රමතුංගසන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශවයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන කටයුතු අතරමග නවතින තත්වයක් උදාවී ඇති බව රාවයට වාර්තාවේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සම්බන්ධ වී ඇත්තේ කොළඹ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් 17දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් බවත් ඝාතනය සඳහා ඔවුන් පිටව ගොස් ඇත්තේ කොළඹ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සිට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන තෙක් පැවැත්වූ විමර්ශනවලින් හෙළි කර ගෙන ඇත. මේ තත්වය මත ලසන්ත ඝානංයට ආසන්න දින දෙක තුළ ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරීන් 270ක පිරිසකගේ නම් ලැයිස්තුව අධිකරණ නියෝගයක් හරහා ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත්තේ මේ හමුදා නිලධාරීන් වසරකට විසිදෙනා බැගින් දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ලසන්ත ඝාතනය ගැන ප්‍රශ්න කිරීමටය. ඒ අනුව ඔක්තොම්බර් 26වනදා පළමු විසිදෙනාගේ කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කොට ඇති අතර 27වනදා දෙවෙනි විසිදෙනාගේ කණ්ඩායම ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතව තිබී ඇත. 27වනදා රජයේ ඉහළ බලධාරියෙකු විමර්ශනයට මැදිහත්වෙමින් පවසා ඇත්තේ මේ ආකාරයෙන් හමුදා නිලධාරීන් කාණ්ඩ වශයෙන් ගෙනවිත් ප්‍රශ්න නොකරන ලෙසය.

මේ තත්වය මත ඝාතනය සම්බන්ධ හමුදා නිලධාරීන් 17දෙනා නිශ්චිත වශයෙන් හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් රාවයට දැනගන්නට ඇත. ඒ පිරිස හඳුනාගන්නට නොහැකි වුවහොත් ලසන්ත ඝාතනය ගැන විමර්ශනය එතනින් ඉදිරියට ගෙන යා නොහැකි තත්වයක් උද්ගතවන බවද එම නිලධාරීන්ගේ මතයයි.

ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මස 8 වැනිදා දෙහිවල අත්හිඩියේදී යතුරු පැදි දෙකකින් පැමිණි ඝාතකයන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය විය. ඝාතනය වී අවුරුදු 7කට පසුව වැඩි දුර පරීක්ෂණ සඳහා ඔහුගේ දේහය පසුගිය සැප්තැම්බර් 27වැනි දා බොරැල්ල කනත්තේදී යලි ගොඩ ගන්නා ලදී.

රාවය