SRILANKAN NEWS

අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම වහා ඉල්ලා අස්කර ගත යුතුයි – ටිල්වින් සිල්වා

මැතිවරණය කල්දමා ගැනීම සඳහා ශ්‍රීලනිපයේ මැදිහත්වීමෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම වහා ඉල්ලා අස්කරගෙන ඉක්මණින් ඡන්දය පැවැත්වීම සඳහා ආණ්ඩුවට බල කර සිටින බව ජනතා විමුක්ති පෙමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (24) දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණගැසීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල යන මහත්වරුද එක්වී සිටියහ.

“අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැසී මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අධිකරණ වාරණයෙන් වාරණය වී ඇත්තේ පළාත් පාලන ආයතන 200කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ඊට අයත් නොවන තවත් පළාත් පාලන ආයතන 100 කට වැඩි ප්‍රමාණයක මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙනවා. එසේ යම් ආයතන ප්‍රමාණයක මැතිවරණය පැවැත්විය හැකි බැවින් ශ්‍රීලනිපයේ උත්සහය ප්‍රතිඵලදායක නැහැ. අපි අනිවාර්යයෙන්ම ඡන්දය දිනාගන්න ඕන‍ෑ. ඡන්දය පැවැත්වීමට ඇති අවස්ථාව අහිමි කරමින් මේ ගෙනයන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අපි සූදානම්.” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.