මැතිවරණය කල් දැම්මොත් ඉදිරි සතියේ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් – ජවිපෙ

පළාත් පාලන සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබෙන පෙත්සම 30වැනිදා වන විට. ඉවත් කර ගැනීමට අදාල පාර්ශ්වයන් කටයුතු නොකළහොත් මැතිවරණය දිනාගැනීම වෙනුවෙන් ඉදිරි සතියේ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා අද (28) පැවසීය.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදි පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු එසේ කීය.

‘‘පළාත් පාලන මැතිවරණය පැවැත්විම වසර දෙකහමාරක් වැනි කාලයක් ඇදි යාමට නව මැතිවරණ ක‍්‍රමය ඇති කිරිම හා සීමා නිර්ණ කටයුතු ප‍්‍රමාද වීම බලපෑවා. ඊටත් වඩා එයට බලපෑවේ ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂ දෙකම මැතිවරණයට මුහුණ දීමට දැක්වු බයයි. ගමට යන්න තරම් වැඩක් කර නැති නිසා එක්සත් ජාතික පක්ෂයත් ගමට ගිහින් ජනමතය විමසන්න බය වුණා. ඇත්ත ජනමතය රට දැන ගන්නවාට බය මෛත‍්‍රීපිලටත් දැන් අවශ්‍ය වන්නේ මහමැතිවරණයේදි මෙන් නැවත මහින්දට මුවාවෙලා ඒ ජනමතය වසන් කරගන්නයි. ඒ සඳහා වන සාකච්ඡා අවසන් වන තෙක් තමයි මේ කල් ගන්නේ‘‘ යැයි ද ඔහු කියා සිටියේය.

‘‘සීමානිර්ණ ගැටලූව බලපා නැති ආයතන 133න් 40ක තිබු සුළු දෝෂ නිවැරදි කර ජනාධිපතිගේ අත්සන ගන්න යොමු කර තිබුණත් එය මේසය මත තබා ජනාධිපති කොරියා ගිහින්. අධිකරණයේ ඇති නඩුව ඉවත් කරගන්නා ලෙස තමන්ගේ හෙංචයියන්ට කියන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයට බලකරනවා. මේක දේශපාලන ප‍්‍රශ්නයක් නිසා දේශපාලන ක‍්‍රමයකට බේරගන්න වෙනවා‘‘ යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top