හදිසි හදවත් සැත්කම් පෞද්ගලික රෝහල්වලදී රජයේ වියදමින් සිඳුකෙරේ..

කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ හදවත් සැත්කම් සිදු කරනු ලබන ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි සැත්කම් කටයුතු අත්හිටුවා ඇති බැවින්, එම රෝහලේ හදිසි සැත්කම්වලට භාජනය කළ යුතු රෝගීන් ඒ සඳහා පහසුකම් ඇති පෞද්ගලික රෝහල් වෙත යොමුකිරීමට රජය තීරණය කොට ඇත.

එම සැත්කම් ගාස්තු රජය විසින් පෞද්ගලික රෝහල් වෙත ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබේ.

දැනට මෙම රෝගීන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත යොමු කරනු ලබන නමුත් එය ප්‍රමාණවත් නොවන බැවින් මෙසේ පෞද්ගලික රෝහල් ද ඒ සඳහා යොදා ගැනීමට තීරණය වූ බව සමකැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද (6) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

එසේ ම කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ ශල්‍යාගාර අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇමැති මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top