SRILANKAN NEWS

ආණමඩුවේදී පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණ කර්මාන්ත ශාලාවක් විවෘත කරයි..

පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය කිරීමේ දැවැන්ත කර්මාන්ත ශාලාවක් ආණමඩුවේදී ඊයේ (18) විවෘත කෙරිණ.

ආණමඩුව, මුන්දලම, මංගලඑළිය, අම්බලම වීදිය යන ස්ථානයේදී විවෘත කෙරුණු එම කර්මාන්ත ශාලාවේ හිමිකාරීත්වය පැවැරෙන්නේ පොලිසැක් පොලිරිසයිකල් පුද්ගලික සමාගමටය.

පොලිතීන්වලින් තොර පරිසරයක් ඇති කිරීම රජයේ අරමුණය. ඒ වෙනුවෙන් ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක අතර පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය වෙනුවෙන් ආරම්භ වූ දැවැන්තම කර්මාන්ත ශාලාව මෙය වේ.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ යෝජනාවකට අනුව මෙම කර්මාන්ත ශාලාව ආණමඩුව, මුන්දලම ප‍්‍රදේශයේ ස්ථාපිත කෙරුණි. ආරම්භක දිනයේම ප‍්‍රදේශයේ තරුණ තරුණියන් 100 දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දීමට ද හැකි වූ බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විවෘත කිරීමේ උත්සවයේදී කියා සිටියේය. ඉදිරි මාස කිහිපය තුළ තවත් 150 දෙනෙකු ආයතනයට බදවා ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

ඉවත දමන පොලිතීන් ප‍්‍රතිචකී‍්‍රකරණය සඳහා යොදා ගැනේ. එමෙන්ම ඉවත දමන පොලිතීන් වෙනුවෙන් සමාගම වෙත ලබා ගැනීමේදී මුදලක් ගෙවීමටත් පියවර ගෙන තිබේ. පොලිතීන් එක් රැස් කිරීමේ කටයුතු සඳහාද නියෝජිතයින් පත් කිරීමට නියමිතය.

මෙම කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරන පොලිතීන් දේශිය මෙන්ම විදේශීය වෙළඳපොල වෙත යොමු කිරීමට පියවර ගන්නා බව එම කර්මාන්ත ශාලාවේ අධිපති විජිත තමෙල් මහතා කියා සිටියේය.