SRILANKAN NEWS

පරිසර සංරක්ෂණය සඳහා ඉටුකළයුතු වගකීම් සහ යුතුකම් ගැන ජනපති අවධාරණය කරයි

ජාතියේ අනාගතය වෙනුවෙන් පරිසර සංරක්ෂණය සඳහා අප විසින් ඉටුකළයුතු වගකීම් සහ යුතුකම් කාර්යක්ෂමව හා නිසිලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික සැලැස්මක් තුළ කටයුතු කරමින් එම ඉලක්ක සපුරා ගැනීමේ අවශ්‍යතාවය පැහැදිළි කරයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම කරුණු පෙන්වා දුන්නේ ඊයේ(19) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරි ශ‍්‍රවණාගාරයේ පැවති ජාතික පරිසර සභාව අමතමිනි.

මධ්‍යම පරිසර අධිකාරියට පරිසර පනත කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම හා උපදේශනයන් ලබාදීම සඳහා 1980 අංක 47 දරණ ජාතික පරිසර පනත යටතේ ස්ථාපිත කරන ලද පරිසර සභාවේ 13 වන සැසිවාරය මෙලෙස අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ජාතික පරිසර සභාවේ කටයුතු සකී‍්‍රයව සහ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට අදාළ ප‍්‍රතිපත්තිමය සැලැස්ම කඩිනමින් සකස් කරන ලෙසයි.

එම කෙටුම්පත ලබන පෙබරවාරි මස පළමු සතිය වන විට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

පරිසරයට වන හානිදායක තත්ත්වයන් පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර සභාව නිරන්තර අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා පරිසරයට හානිකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.

මේ දිනවල නැවත විල්පත්තුව පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා පිළිබ`දව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එවැනි තොරතුරක් ලද වහාම ඒ පිළිබඳ සොයා බැලීම අදාළ ආයතනවල වගකීම බවයි. එහිදී වරදක් සිදුව ඇත්නම් එය වහා නිවැරදි කිරීමටත්, එසේ නොවේනම් එම මාධ්‍ය වාර්තා නිවැරදි කිරීමටත් පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාතික පරිසර ප‍්‍රතිපත්තියක් තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී කිසිදු රාජ්‍ය නිලධාරියෙකු බිය විය යුතු නැති බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා, තමා ජනාධිපතිවරයා ලෙස පරිසර අමත්‍යාංශය භාරගනු ලැබුවේ පරිසර සංරක්ෂණයට අදාළව ගන්නා තීන්දු තීරණවලට කිසිවෙකුට අභියෝග කිරීමට ඉඩ නොතබමින් බව ද සඳහන් කළේය.

එමෙන්ම පරිසර අධිකාරිය සහ ඊට අදාළ ආයතන විසින් බලපත‍්‍ර නිකුත් කිරීමේදී ඒවා නිරන්තර පසුවිපරමකට ලක් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිතුමා කිසිදු ජාවාරම්කරුවෙකුට පරිසරය විනාශ කිරීමට ඉඩ නොතැබීම අදාළ සියලු ආයතනවල වගකීම බවද කියා සිටියේය.

ජාතික පරිසර සභාවේ නව සභාපතිවරයා ලෙස කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යු.ඒ. චන්ද්‍රසේන මහතා තෝරා පත්කර ගැනීම ද මෙහිදී සිදු විය.
පසුගිය වසරේ පරිසර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ සේවාව ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්සිරි යන මහත්වරුන් සහ ජාතික පරිසර සභාවේ සාමාජික සාමාජිකාවන්ට මීට එක්ව සිටියහ.