විල්පත්තු ජන පදිංචිය නීතියට පටහැනියි – විගණකාධිපති පෙන්වා දෙයි..

විල්පත්තු පරිවාර වනාන්තරයක් වන විලත්තිකුලම් රක්ෂිතයේ පුද්ගල පදිංචිය සඳහා අක්කර 650ක් නිදහස් කිරීම නීතියට පටහැනි බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සිදු කළ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව නිකුත් කරමින් විගණකාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම පදිංචි කිරීම් හරහා දෙවන, තුන්වන පරම්පරාවල පවුල්වලට ඉඩම් ලබාදීමද නීති විරෝධී බවය.

විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ආයතන, සමාජ ජාල මාධ්‍ය සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ හා පරිසර සංවිධාන බොහෝ පිරිසක් විල්පත්තු වන සංහාරයට එරෙහිව විශාල හඬක් නැගීය.

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම විගණන වාර්තාවෙන් නිගමනය කර ඇත්තේ විලත්තිකුලම් රක්ෂිත වනාන්තරයේ පුද්ගලයින් පදිංචිය සඳහා අක්කර 650ක් නිදහස් කර තිබුණද එය නීතියට පටහැනි බවය.

එමෙන්ම රක්ෂිතය එළි කිරීමේදී පාරිසරික බලපෑම් පිළිබඳ ඇගයීමක් සිදුකර නොමැති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව රක්ෂිතයට සිදුවූ හා ඉදිරියේදී සිදුවන හානිය සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කර නැති බව විගණකාධිපතිවරයාගේ නිගමනය වී ඇත.

යුද්ධයෙන් අවතැන්ව තම ඉඩම් අහිමි වූ පවුල්වලට මුල් ඉඩම් ලබාදීම ප්‍රධාන අරමුණ වුවද එයට පටහැනිවල ඔවුන්ගේ දෙවන හා තුන්වන පරම්පරාවල පවුල්වලට මෙම වන රක්ෂිතයෙන් ඉඩම් ලබාදී ඇති බවද වෙනත් ප්‍රදේශවල ඉඩම් ඇති පුද්ගලයන් හටද මෙහි ඉඩම් ලබා දී ඇති බවද මෙම වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top