SRILANKAN NEWS

ජනතා විමුක්ති පෙරමුණේ නත්තල් දින පණිවුඩය

ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේගේ දේශනාවේ සමානාත්මතාවයත් ප්‍රේමය, සහෝදරත්වය වැනි මානව ගුණාංගවලින් අසල්වැසියා සමග ගනුදෙනු කිරීමට උගන්වන බවත් උන්වහන්සේගේ චින්තනය අදට වටිනා පණිවිඩයක් බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය නත්තල් දින පණිවුඩයේ සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නත්තල් දින පණිවුඩය පහතින් පල වේ.

“ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ මෙලොවට බිහිවූ දිනය නිමිති කරගනිමින් ලොව පුරා කිතුණු බැතිමතුන් විසින් මහත් භක්තියෙන් හා උත්සවශ‍්‍රීයෙන් සමරනු ලබන නත්තල අදට යෙදී ඇත. සමස්ත ලෝකවාසී කිතුනු බැතිමතුන් සමඟ එක්ව නත්තල සමරනු ලබන ලාංකේය කිතුනු බැතිමතුන්ට ජනතා විමුක්ති පෙරමුණේ සුබපැතුම් එක් කරනුයේ මහත් සතුටිනි.

අදින් වසර 2017කට පෙර ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙමේදී උපත ලද දිනය වන නත්තල පොදුවේ හඳුන්වනු ලබන්නේ සාමයේ පණිවිඩය රැගෙන ආ දිනය ලෙසය. එහෙත් ඒ සාමයේ, සහෝදරත්වයේ පණිවිඩය බෙදා හැරීමට මුල් වූ ශුද්ධ වූ බෙත්ලෙහෙම පිහිටි ජෙරුසලම අද අධිරාජ්‍යවාදීන් විසින් ලේ වැගිරවීමට පදනම් කරගනිමින් සිටින භූමිභාගයකි; මිනිස් ඝාතන කරන අවි ජාවාරම්කරුවන් සතුටු කරවීම සඳහා ගැටුම් ඇවිළවීමට නිමිති කරගන්නා ස්ථානයකි. මෙම තත්වය සාමයේ පණිවිඩය බෙදාහළ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේට අවමානයකි. ආගමේ නාමයට මුවා වී සිටින ලේ පිපාසිතයින් සහ දුෂ්ට කෑදර ධනවාදය විසින් ලෝකය රැගෙන යමින් සිටින්නේ කෙබඳු තැනකටද යන්න නැවත නැවතත් සිතා බැලීමට කිතුණු බැතිමතුන්ට මේ නත්තල අගනා අවස්ථාවක් යැයි අපි සිතමු.

ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ සිය දර්ශනය වෙනුවෙන් සටන් කළ අයෙකි. ජනතාව පීඩනයට පත් කරන පාලනයට විරුද්ධව මතවාදී අවිය එසවූ අයෙකි. දුෂ්ට, දූෂිත පාලකයින්ට එරෙහිව නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා අරගල කළ උන්වහන්සේ තම ජීවිතය පරිත්‍යාග කළේද ලෝකවාසී ජනතාවගේ විමුක්තිය වෙනුවෙනි. උන්වහන්සේගේ ජීවිතය පූජනීය වූයේද එබැවිනි. අදද අවශ්‍යව ඇත්තේ, උන්වහන්සේ ප‍්‍රකට කළ එබඳු ගුණයන්ගෙන් පිරිපුන් අරගලකාරී මිනිසුන්ය.

අද අප හමුවේ ඇත්තේ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ දේශනා කළ උතුම් ගුණාංග රෝපණය කළ හැකි පෝෂණය කළ හැකි පසක් නිර්මාණය කරගැනීමය. අසල්වැසියාට එරෙහිව අවි අමෝරා ගනු වෙනුවට ප්‍රේමය, සහෝදරත්වය වැනි මානව ගුණාංගවලින් අසල්වැසියා සමග ගනුදෙනු කිරීමට උගන්වන උන්වහන්සේගේ චින්තනය අදට වටිනා පණිවිඩයකි. ඇඳුම් දෙකක් ඇති තැනැත්තා නැති තැනැත්තාට දෙන්න යනුවෙන් ඉගැන්වූ උන් වහන්සේගේ දේශනාව සමානාත්මතාව පිළිබඳ අගනා පාඩමක් වනවා මෙන්ම සමානාත්මතාව ඇති සමාජයක් බිහිකර ගැනීමේ වුවමනාවද අවධාරණය කරවන්නකි.

ඒ සඳහා අදිටන් කර ගන්නා දිනය බවට අද නත්තල් දිනය පත් කර ගන්නා මෙන් ලාංකේය කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින අපි සමස්ත කිතුණු ප‍්‍රජාවට සුභ නත්තලක් වේවායි ප‍්‍රාර්ථනා කරමු.

අනුර දිසානායක
නායක
ජනතා විමුක්ති පෙරමුණ
2017.12.25”