SRILANKAN NEWS

ජනපති කොමිෂමේ වාර්තාවල තොරතුරු ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබෙනවා – අනුර කුමාර

ජනපති කොමිෂමේ වාර්තාවල තොරතුරු ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඊයේ (01) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

“ජනාධිපති කොමිෂන් සභා මහජනතාවගේ ධනය යොදවලා මහජනතාවගේ ධනය පිළිබඳව කරනු ලබන පරීක්‍ෂණ නිසා එම වාර්තාවල තොරතුරු ජනතාවට දැන ගැනීමට අයිතියක් තිබෙනවා. අපි ජනාධිපතිවරයාට බල කරනවා එම වාර්තාව තමන් සන්තකයේ පමණක් තබා නොගෙන රටට හෙළදරව් කරන්න කියලා. දෙවනුව ජනාධිපතිවරයා කළ යුත්තේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාතමක කිරීමයි. අනිවාර්ය ලෙස මෙම වාර්තාවේ නිර්දේශ ගණනාවක් ඇතුළත්ව තිබිය යුතුයි. එම නිර්දේශයන්ට අනුව නීතිපතිවරයාට යොමුකර චූදිතයින්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. එසේ නොමැතිව මෙම වාර්තාවත් කාලයේ වැලි තලාවෙන් වැසී යාමට ඉඩ නොතැබිය යුතුයි. මෙතෙක් කල් අපේ රට තුළ සිදුවූයේ එක් වංචාවක් මගින් තවත් වංචාවක් යට යෑමත් එක් කොමිෂන් වාර්තාවක් මගින් තවත් කොමිෂන් වාර්තාවක් යට යෑමත් එක් වංචනිකයෙක් මගින් තවත් වංචනිකයෙක් යට යෑමත්ය. මෙතෙක් කල් අපේ රට තුළ රඟදැක්වූයේ මේ නාටකයයි.” යැයි අනුර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.