SRILANKAN NEWS

සාමය සහෝදරත්වය රජයන ගොඩනගන්නට මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා – අගමැති

සොබාදහම සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික භේද ඉක්මවා සාමය සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනගන්නටත් මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සුභාශිංසන පණිවුඩය

ලොව වටා දමිළ ජනතාව මහත් හරසරින් සමරන තෛපොංගල් උත්සවය දීර්ඝ ඉතිහාසයක් ඇති, මහා සංස්කෘතික උරුමයක් සහිත වැදගත් ආගමික උත්සවයකි. සූර්ය දෙවි වන්දනාවට ප්‍රමුඛත්වය දෙන මෙම උත්සවය මානව ජීවිතය සමෘද්ධිමත් කිරීම සඳහා ජීවය ලබා දෙන සොබාදහමට කෘතවේදීත්වය පුදකරන අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

කෘෂිකාර්මික සමාජයේ හිරු නමදින්නේ දේවත්වයෙනි. සාර අස්වැන්නක් ලබා ගැනීමට ශක්තිය වූ හිරු දෙවියන්ට අස්වැන්නෙහි අග්‍රඵලය පුදදෙමින් කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උළෙලේ වැදගත් චාරිත්‍රයකි. මෙහිදී කෘෂිකාර්මික කටයුතු සඳහා දායක වන ගවයින් වැනි සතුන්ටද සුවිශේෂීව සලකනු ලැබේ. මේ සියලූ චාරිත්‍ර මිනිසා සහ පරිසරය අතර සබඳතාව වඩ වඩාත් ශක්තිමත් කරයි. අරුත් ගන්වයි.

තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සියලු දහම්වල හරය කැටි කොටගත් සොබාදහමේ අගයයි. සමානාත්මතාවය කෙරෙහි ගරුත්වය දැක්වීමේ වටිනාකමයි. කෘතවේදීත්වයේ උතුම් බවයි. හින්දු ජනතාව ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාව සමඟ බෙදා හදාගනිමින් තෛපොංගල් උත්සවය සැමරීම සාමය, සංහිදියාව ගොඩනැගීමටද සුවිශේෂ අවකාශයක් උදාකරයි.

සොබාදහම සමඟ සහසම්බන්ධතාවයෙන් එහි සුරක්ෂිත බව උදෙසා කැපවන්නටත්, වාර්ගික, ආගමික භේද ඉක්මවා සාමය සහෝදරත්වය රජයන මානව සමාජයක් ගොඩනගන්නටත් මෙවර තෛපොංගල් උත්සවය පරමාදර්ශයක් වේවා!

තෛපොංගල් උළෙල සමරන සහෝදර දමිළ ජනතාවට මාගේ හද පිරි සුභාශිංසන..!

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය