SRILANKAN NEWS

භූමිතෙල් තොග වශයෙන් භාජනවලට නිකුත් කිරීම තහනම්

ලංකා ‍භූමිතෙල් රථවාහනවලට, කර්මාන්තශාලාවට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට අලෙවි කිරීම තහනම් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ අත්සනින් යුතුව අංක 987 යටතේ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

දිවයිනේ අඩු ආදායම් ලබන ජනතාවට හා ධීවර ප්‍රජාවට සහන සැලසීමේ පරමාර්ථයෙන් සහන මිලකට අලෙවි කරනු ලබන ලංකා භූමිතෙල් ඔවුනට පමණක් නිකුත් කිරීමට සියලුම බෙදුම්කරුවන් වගබලා ගත යුතු බවත්, ව්‍යාපාරික කටයුතුවලට සහ කර්මාන්තශාලාවලට කාර්මික භූමිතෙල් පමණක් නිකුත් කළ යුතුය, පෙට්‍රල් සහ ඩීසල් වාහනවලට ලංකා භූමිතෙල් අලෙවි කිරීම නීතිවිරෝධි ක්‍රියාවක් වන අතර, අධික ලාභ ලබා ගැනීමේ අරමුණින් ඩීසල්වලට භූමිතෙල් කලවම් කළහොත් එම වරද සිදු කරන පිරවුම්හල්ද තහනම් කරන බවද එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.