යාපනය, මන්ඩතීව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සහ ක්‍රීඩා නගරයක්..

යාපනය, මන්ඩතීව් ප්‍රදේශයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සහ උතුරු පළාත් ක්‍රීඩා නගරයක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් නිරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල‍යේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) යාපනය මණ්ඩතිව් ප්‍රදේශයේදී සිඳු කෙරුණි. මෙම ව්‍යාපෘතිය වසර තුනක් තුල අවසන් කරන බව තිලංග සුමතිපාල මහතා එහිදී පවසා සිටියේය.

යාපනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් වසර ගණනාවක් තිස්සේ සොයා බැලූ අතර, ආනයිකෝට්ටයි සෝමසුන්දරම් මාර්ගය, පොන්නාලයි හංදියට අසල පිහිටි ප්‍රදේශය එයට යෝජනා කර තිබූ නමුත් ඇතැම් හේතු කාරණා මත එය අත්හිටුවා තිබුණි. මෙවැනි තත්වයකදී මන්ඩතීව් ප්‍රදේශයේ පිහිටි විශාල බිම් ප්‍රදේශයක් මේ සඳහා යෝජනා කෙරුණි.

එම ස්ථානය නිරීක්‍ෂණ කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල‍යේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායම ඊයේ (27) දින යාපනයට පැමිණි සිටියෝය. එම කණ්ඩායම සමඟ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

මණ්ඩතිව් ප්‍රදේ‍ශයේ අක්කර 50 ක භූමි ප්‍රමාණයක් පුරා මෙම ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්විය හැකි ක්‍රිකට් ක්‍රීඩාංගණය හා මළල ක්‍රීඩා පැවැත්විය හැකි ක්‍රීඩාංගණය ඇතුළු උතුරේ ක්‍රීඩා නගරය ද ඉදිකිරීමට නියමිතයි.

සංහිඳියා වැඩපිළිවල යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම ක්‍රීඩා නගරය කඩිනමින් ඉදිකිරීමට නියමිත බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top