SRILANKAN NEWS

රාජපක්‍ෂලාට එරෙහි නඩු ප්‍රමාදයට එජාපය වගකිව යුතුයි – ජනාධිපති

රාජපක්‍ෂවරුන්ට එරෙහිව නඩු ප්‍රමාද වීමට එක්‌සත් ජාතික පක්‍ෂය වගකිව යුතුයෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තම අභියෝගය නිසා රටට පේන්න හදිසියේ දින යොදා ගෙන විවාද කරන්න හැදුවත් කොමිෂන් සභා පාර්ලිමේන්තු විවාදය කොතෙක්‌ දුරට සාර්ථක වේ දැයි තමන්ට විශ්වාසක්‌ නැති බවද ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් සමඟ ඊයේ (31) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.

පෙබරවාරි 22 වැනිදාට කල් දමා තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිසමේ හා බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසමේ පාර්ලිමේන්තු විවාදය ඡන්දයට පෙර පවත්වා පෙන්වන්න යෑයි තමන් කළ අභියෝගය ජනමතයක්‌ වූ නිසා ඔවුන්ට එය ඡන්දයට පෙර විවාදයට ගැනීමට සිදු වූ බවත් ජනාධිපතිවරයා කීය.

එහෙත් එම විවාදයෙන් නියම ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමට නම් විවාදය මීට කලින් පැවැත්විය යුතුව තිබූ එකක්‌ බවත්, එය මන්ත්‍රීවරයකුට විනාඩි 5 ක්‌ 10 ක්‌ කතා කර අවසන් කළ නොහැකි විවාදයක්‌ බවත් ජනාධිපතිවරයා පැවැසීය.

නීතිය හා සාමය, පොලිසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව ආදී අංශ පාලනය කරන අමාත්‍යාංශ රටේ නඩු ප්‍රමාදයට වගකිවයුතු බවත් ඒ නිසා රාජපක්‍ෂවරුන්ගේ නඩුවලට ප්‍රමාදයට හේතුව එක්‌සත් ජාතික පක්‍ෂය භාර ගත යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.