SRILANKAN NEWS

යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු යළි ඇරඹේ

img_3927යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අද බදාදා දින සිට නැවත ආරම්භ කර තිබේ. පසුගිය 20 වනදා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව තාවකාලිකව විශ්වවිද්‍යාලයේ සියළු පීඨ වසා දමා තිබුණි.

මියගිය සිසුන්ට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පංති වර්ජනයක නිරතවූ අතර, ඊයේ දින මේ සම්බන්‍ධෙයන් ශිෂ්‍ය නියෝජිතයන්ජනාධිපති හා අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබුණි.

ඝාතනය වූ විශ්වවිද්‍යාල සිසුන්ගේ මරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලබා දුන් පොරොන්දු අනුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කැමැත්ත පල කළ බව යාපනය විශ්ව විද්‍යාලයේ සිසුහු පැවැසීය. මේ සම්බන්‍ධයෙන් අද බදාදා දින යාපනය විශ්ව විද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කලා පීඨයේ ශිෂ්‍ය සංගම් නායක රාජීවන් පවසා සිටියේ..

අප විසින් ඉදිරිපත් කළ ඉල්ලීම ජනාධිපති හා අගමැතිවරයා පිළිගෙන තිබේ. ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසය මත අපි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කැමැත්ත පල කළෙමු.

මියගිය සිසුන්ගේ පවුල්වලට රුපියල් මිලියනයක් බැගින් වන්දි මුදලක් ලබාදිය යුතු යැයි ජනාධිපති හා අගමැතිවරයා වෙත ඉල්ලා සිටියෙමු. සිසුන්ගේ පවුලේ ඥාතීන් දැඩි දුෂ්කරතා මැද ජීවත් වන හෙයින් ඔවුන්ට අනුරාධපුර අධිකරණයට යෑමට නොහැකි බැවින් මියගිය සිසුන් සම්බන්‍ධ නඩු විභාගය යාපනයේදීම සිදුකළ යුතු බව ද ඉල්ලා සිටියෙමු.

සිසුන්ගේ ඝාතනය සම්බන්‍ධ පරික්‍ෂණ කටයුතු කඩිනමින් සිදු කළ යුතු යැයි ඉල්ලා සිටි අතර, මාසයක් තුල නීතිපති වාර්තාව ගෙන අධිකරණයේ විභාග කටයුතු ආරම්භ කරන බවට පොරොන්දු වූහ.

මාසයක් තුල ජනාධිපති හා අගමැතිවරයා ඉහත සඳහන් අපගේ ඉල්ලීම් ඉටුකරනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මාසයකින් එම ඉල්ලීම් ඉටු නොකළේ නම් යළි විරෝධතාව ආරම්භ කරන බව ද පවසා සිටියේය.

– Global Tamil News : Sinhala