SRILANKAN NEWS

ඡන්ද සලකුණට පමණක් කතිරයක් යොදන්න

ඡන්ද පොළේදී එක් එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන් බවත් මෙම ඡන්ද පත්‍රිකාවල සඳහන් වන්නේ ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නම් ඒවායේ ඡන්ද ලකුණු පමණක් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ කොට්ඨාසවල නම් හා අංක අපේක්ෂකයින්ගේ නම් යනාදී කිසිවක් ඡන්ද පත්‍රිකාවල සඳහන් නොවන බවයි. ඔබ කැමැති පක්ෂය/ ස්වාධීන කණ්ඩායමේ නම හා සලකුණ සඳහන් තීරුවේ ඡන්ද සලකුණට දකුණු පසින් වූ හිස් කොටුවේ එකම එක කතිරයක් පමණක් යෙදීමෙන් ඔබගේ ඡන්දය සලකුණු කළ යුතුය.

ඡන්දය දීම සඳහා යනවිට ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ නැතහොත් තාවකාලික හැඳුනුම්පත හෝ වලංගු රියදුරු බලපත්‍ර‍ය, වැඩිහිටි හැඳුනුම්පත, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය/ජූජක උතුමන්ගේ හැඳුනුම්පත යන හැඳුනුම්පත් අතුරින් එකක් රැගෙන යාම අත්‍යවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

එසේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාම ඡන්ද හිමියාටත් මැතිවරණ කාර්ය මණ්ඩලයටත් පහසුවක් වන බැවින් එය රැගෙන යාම වඩාත් යෝග්‍ය බව සභාපතිවරයා පෙන්වා දෙයි.